Wednesday, April 24, 2024

General line - 0115112241

සේවිකාවකට අඩන්තේට්ටම් කළැයි මහාධිකරණ විනිසුරුවරයෙකුට චෝදනා




මහාධිකරණ විනිසුරුවරයෙකු විසින් අධිකරණ කාර්යමණ්ඩලයේ සේවිකාවකට අඩන්තේට්ටම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම සොයා බලන්නැයි ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

එහි ලේකම් නීතිඥ අමල් රන්දෙණිය මහතා පැවසුවේ ලිපියක් මගින් තමන් මෙම ඉල්ලීම කළ බවයි.

“රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා විසින් අධිකරණ කාර්යමණ්ඩලයේ තැනැත්තියකට අඩන්තේට්ටම් කිරීමක් විය හැකි ක්‍රියාවක් සිදු කිරීම සම්බන්දයෙන් පළවෙන වාර්තා ගැන ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය අවධානයෙන් සිටින බව දන්වමින් ගරු අගවිනිසුරුතුමාට ලිපියක් මගින් දැනුම් දුන්නා.

මෙවැනි ක්‍රියාවක් නීතියේ භාරකරුවන් හා ආරක්ෂකයන් ලෙස පත්කර ඇති උසස් නිල නල දරණ මහාධිකරණ විනිසුරුවරයෙකුගෙන් අපි කවදාවත් බලාපොරොත්තු නොවන බව තමයි අපි මේ ලිපියෙන් අවධාරණය කර තිබෙන්නේ.

ඒ නිසා මෙම සිද්ධියේ සත්‍යතාවය සොයා බලා , එවැනි සිදුවීමක් වෙලා තිබෙනවනම් එම විනිසුරුවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරලා , ඕනෑම පුද්ගලයෙකුට නීතිය ඉදිරයේ ඇති සමානාත්මතාවය මත කටයුතු කරලා අධිකරණයේ ක්‍රියා පිළිපෙත පිළිබඳ මහජනතාව තුළ විශ්වාසයක් ජනිත වන අයුරින් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය අප අවධාරණය කර තිබෙනවා මෙම ලිපිය මගින්”.