Friday, April 26, 2024

General line - 0115112241

බදු ක‍්‍රමයේ අඩුපාඩු ජනපති පිළිගනියි




මෑතකදී කෙරුණු වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ දීර්ඝ සාකච්ඡාවක් කෙරුණා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද වෙළෙඳ සංගම් නියෝජිතයින් ද ඊට සහභාගි වී සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ මෙය වඩා හොඳ බදු ක‍්‍රමයක් සඳහා වූ පළමු පියවර බවයි.

මෑතකදී කෙරුණු වැට් බදු සංශෝධනයට අදාළව ආණ්ඩුව පාර්ශවයෙන් අඩුපාඩු සමහරක් සිදුව ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී පිළිගත්තා.

පවතින අඩුපාඩු මගහරවා ගැනීම සඳහා බදු ගණනය කිරීමේ පටිපාටිය වඩා විධිමත් විය යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියා.

මෙම සාකච්ඡාවෙන් පසු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ මෑතකදී කෙරුණු වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් වෙළෙඳ සංගම්වලට පැවති අනවබෝධය යම් තාක් සමනය කිරීමට මෙහිදී හැකි වූ බවයි.

ඉදිරි සාකච්ඡාවලදී දෙපාර්ශ්වය අතර වඩා හොඳ අවබෝධයක් ඇති වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළා.