Friday, March 29, 2024

General line - 0115112241

හජ් උත්සවය අදයි




ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් යුතුව සමරන හජ් උත්සවය අදට යෙදී තිබෙනවා.

ඉස්ලාම් බැතිමතෙකු සිය ජීවිත කාලයේ දී එක් වතාවක් හෝ මක්කම වන්දනාවේ යෙදීම අනිවාර්යයෙන් සිදු කළ යුත්තක් ලෙස සැලකෙනවා.

එම වන්දනාවේ වැදගත්ම දිනය ලෙසටයි හජ් දිනය සලකනු ලබන්නේ.

අදට යෙදෙන හජ් උත්සවය නිමිත්තෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

සාමය සහ සහෝදරත්වයේ නිම් වළලූ පුළුල් කරමින් සමස්ත ලෝකවාසී මුස්ලිම් ප‍්‍රජාවම ශුද්ධ වූ කුරානයේ සහ නබි තුමන්ගේ ඉගැන්වීම් අනුව සිය ජීවිතය ගොඩනගා ගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

අන්‍යයන්ට ගරු කිරීම තුළින් මානව සබැඳියාවේ උත්තරීතර බව සහ සහජීවනය හජ් උත්සවය මගින් ප‍්‍රසිද්ධ කළ යුතු බවයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය සුභ පැතුම් පණිවුඩය මගින් ප‍්‍රකාශ කරන්නේ.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද හජ් උත්සවය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ධනය, බලය, නිලය හෝ තරාතිරම නොව මනුෂ්‍යත්වය වඩා වැදගත් වන බවයි අග‍්‍රාමාත්‍යවරයා සිය සුභ පැතුම් පණිවුඩය මගින් පෙන්වා දී ඇත්තේ. ලෝක සාමය වෙනුවෙන් සියලු දෙනා එක්වීම මෙම අවස්ථාවේ දී වඩාත් වැදගත් වන බවයි අග‍්‍රාමාත්‍යවරයා සිය සුභ පැතුම් පණිවුඩය මගින් පෙන්වා දී ඇත්තේ.