Thursday, March 28, 2024

General line - 0115112241

දෙහිවල ධීවරයින්ට ධීවර ඇමතිගෙන් විසඳුමක්




දෙහිවල ප‍්‍රදේශයේ වෙරළට ආසන්නව මුහුදේ පිහිටා ඇති කළු ගලක් සම්බන්ධයෙන් ධීවරයින් නගන මැසිවිලිවලට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.
මෙම කළු ගල කඩිනමින් ඉවත් කරන්නැයි බලකරමින් ධීවරයින් පිරිසක් ඊයේ (04) දුම්රිය මාර්ගය ද අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුණා.

ඔවුන් කියා සිටියේ යාත‍්‍රා කිහිපයක්ම මෙම කළු ගලෙහි ගැටී අනතුරට ලක් වී තිබෙන බවයි. ඒ නිසා ධීවරයින් කිහිපදෙනෙකු මියගොස් ඇතැයි ද ප‍්‍රකාශ කෙරුණා.

කෙසේ වෙතත් අදාළ කළු ගල රළ වේගය පාලනය කරන ස්වභාවික බාධකයක් ලෙසද කි‍්‍රයාකරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙන්නේ.

ඒ නිසා එය එකවරම ඉවත් කළහොත් වෙරළ ඛාදනය වේගවත් වීමටත් ධීවර නිවාස රැසක් මුහුදට ගසාගෙන යාමට ඉඩ තිබෙන බවට අනුමාන කෙරෙනවා.

මෙම කරුණු සැලකිල්ලට ගෙන පරිසර ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් කඩිනමින් ලබාදෙන්නැයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර අදාළ වාර්තාව ලැබීමෙන් පසු කළු ගල ඉවත් කර රළ පාලනයට වෙනත් ගල් වැටියක් යෙදීමටයි තීරණය කර ඇත්තේ.