Friday, April 26, 2024

General line - 0115112241

සිරමැදිරියේ ගෙලවැළලාගත් පුද්ගලයා ගැන විවෘත තීන්දුවක් (UPDATE)




ගම්පොළ පුස්සැල්ලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සිරමැදිරිය තුළදී ගෙල වැළලාගෙන මියගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

එමෙන්ම අදාළ පුද්ගලයාගේ සිරුරේ කොටස් රජයේ රසපරීක්ෂකවරයා වෙත ද යොමු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සැකකරු මියයාම සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා ගම්පොළ පොලිසියට මාරු කිරීමටද කටයුතු කර තිබෙනවා.


සිරමැදිරියේ ගෙලවැලලා ගැනීමේ සිද්ධියෙන් පොලිසියේ දෙදෙනෙකුට වැඩ වරදියි

(Sep 18, 2016 @ 12:00)

පුස්සැල්ලාව පොලිස් ස්ථානයේ සිර මැදිරියක් තුළ දී සැකකරුවෙකු ගෙළ වැලලාගෙන මියයාම සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදු කෙරෙන බවයි. මෙලෙස ඊයේ (17) රාත‍්‍රියේ රාජකාරී කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ උප සේවක ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

 


පොලිස් සිරමැදිරිය තුළ අයෙක් දිවිනසා ගනී

(Sep 18, 2016 @ 07:53)

පුස්සැල්ලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි වරෙන්තු කරුවෙකු පොලිස් සිරමැදිරිය තුළ සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා මීට පෙර නීති විරෝධිව රා මැදිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

එහිදී අධිකරණය නියෝග කළේ මෙම පුද්ගලයාව ප්‍රජා සේවයට යොදවන ලෙසයි. කෙසේවෙතත් ඔහු එය මගහැර සිටීම නිසා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කෙරුණා.

ඒ අනුව සැකකරු ඊයේ (17) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි පුස්සැල්ලාව පොලිසිය සඳහන් කළේ. එසේ රඳවා සිටියදී ඔහු මෙලෙස ගෙල වැලලාගෙන දිවි හානි කරගෙන තිබෙනවා. සිය කමිසයෙන් ඔහු මෙය සිදු කරගෙන ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.