Friday, March 29, 2024

General line - 0115112241

දුම්රිය ප‍්‍රවේශපත‍්‍රය වෙනුවට ඉලෙක්ට්‍රොනික ප‍්‍රවේශපත‍්‍රයක්




දැනට භාවිත කරන දුම්රිය ප‍්‍රවේශපත‍්‍රය වෙනුවට ඉලෙක්ට්‍රොනික ප‍්‍රවේශපත‍්‍රයක් හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. පී. ආරියරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ මේ හරහා දෙපාර්තමේන්තුවේ රාජකාරී පහසුවෙන් සිදු කිරීමේ හැකියාව පවතින බවයි.

දැනට භාවිත කෙරෙන ප‍්‍රවේශපත‍්‍ර හිගයක් ඇති වන අවස්ථාවන්හි දුම්රිය කාර්ය මණ්ඩලය, අතින් ලියූ වෙනත් ප‍්‍රවේශපත‍්‍රයක් ලබා දිය යුතුයි.

ඉලෙක්ට්‍රොනික ප‍්‍රවේශපත‍්‍ර ලබා ගැනීම සඳහා වූ යන්ත‍්‍ර දෙකක් එක් දුම්රිය ස්ථානයකට යෙදීමටයි මේ යටතේ සැලසුම් කර ඇත්තේ.

ඉන් එක් යන්ත‍්‍රයකින් දුම්රිය කාර්ය මණ්ඩලයෙන් මගීන්ට ප‍්‍රවේශපත‍්‍ර ලබාගත හැකියි.

අනෙක් යන්ත‍්‍රයෙන් මගීන්ටම මුදල් යොමු කර අවශ්‍ය ප‍්‍රවේශපත‍්‍රය ලබාගත හැකි බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ.

නව ක‍්‍රමය යටතේ ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීම, තවත් මාස හයකින් පමණ ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

දැනට භාවිත කරන ක‍්‍රමවේදය අනුව දුම්රිය ස්ථානයක ආදායම් වියදම් ගණනය කිරීමට ද මාසයකට අධික කාලයක් ගතවන බවයි පැවසෙන්නේ. ඉලෙක්ට්‍රොනික යන්ත‍්‍ර යෙදවීමෙන් එම ක‍්‍රියාවලිය ද පහසු කරනු ඇති.