Thursday, March 28, 2024

General line - 0115112241

නිව්යෝර්ක් පිපිරීම ත‍්‍රස්ත ප‍්‍රහාරයක් – ජනපතිත් අමෙරිකාවට




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීට නොබෝ වේලාවකට පෙර අමෙරිකාවට පැමිණියා.

ජනාධිපතිවරයා මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව ඇත්තේ ලබන බදාදා දිනයේයි. අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ වන මෙම සැසිවාරයට රාජ්‍ය නායකයින් 154 දෙනෙකු සහභාගී වනු ඇති බවටයි පැවසෙන්නේ.

අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන්කි මූන් එක්සත් ජාතීන්ගේ සංවිධානයක් අමතන අවසන් අවස්ථාව මෙවර සමුළුවයි. එබැවින් සමුළුව පිළිබඳ ලොව පුරා ඇත්තේ දැඩි අවධානයක්.

මේ අතර සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයින්ගේ සහ සමුළු පරිශ‍්‍රයේ ආරක්ෂක විධි විධාන දැඩි කිරීමට අමෙරිකානු බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ, නිව්යෝර්ක් නුවර ආශ‍්‍රිතව සිදු වූ පිපිරීම හේතුවෙන්.

ආරක්ෂාව සඳහා අතිරේක හමුදා සාමාජිකයින් දහසක් යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.

නිව්යෝර්ක් නුවර සිදු වූ පිපිරීම ත‍්‍රස්ත ක‍්‍රියාවක් බව එරට බලධාරීන් තහවුරු කර තිබෙනවා.

සෙනසුරාදා රාත‍්‍රියේ සිදු වූ මෙම පිපිරීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 29 ක්. ඔවුන් තවමත් රෝහල්ගතවයි ප‍්‍රතිකාර ලබන්නේ.

නිව්යෝර්ක් පිපිරීමට අදාළ තවත් තොරතුරු නෙත් විදේශීය ප‍්‍රවෘත්ති තුළින් බලාපොරොත්තු වන්න.