Friday, April 19, 2024

General line - 0115112241

තාජුඩීන් ඝාතන දින මකාදැමූ බව කියන දුරකතන දත්ත නැවත ගන්න සහය දෙන්න




රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සිදුවූ දින ජනපති ලේකම් කාර්යාලයේ තිබූ පරිගණක CPU (මධ්‍යම දත්ත හුවමාරු ඒකකය) යන්ත්‍රයේ මකා දැමූ බව කියන දුරකථන දත්ත නැවත ලබාගැනීමට එම උපකරන සවිකළ සමාගමේ එහි මෘදුකාංග සම්බන්ධව කටයුතු කළ නිලධරයාට රහස් පොලිසියට පැමිණ සහාය ලබාදෙන ලෙස අද (21) නියෝග කෙරුණා. ඒ එම නඩුව කැඳවූ අවස්ථාවේදී.

රහස් පොලිසියේ මිනීමැරුම් පිළිබඳ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත එම අවසරය හිමිවුණා.

හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඇතැම් අස්ථි කොටස් විච්ඡේදනය කර පරීක්ෂා කර ඇති බවත් ඒවා හා තවත් අස්ථි කොටස් මල්ලක බහා වාහනයකින් අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සිට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) රැගෙන ගොස් ඇතැයි අනාවරණය වී ඇති බවත් රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සිද්ධියට සම්බන්ධ බවට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින බස්නාහිර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා ඔක්තෝබර් 5 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා මෙහිදී නියෝග කළා.