Thursday, April 25, 2024

General line - 0115112241

සාලාව මාසික දීමනාව තවත් මාස 03 කට




සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමෙන් සම්පූර්ණයෙන්ම නිවාස අහිමි වූ පුද්ගලයින්ට ලබාදෙන රුපියල් පනස් දහසක මාසික දීමනාව තවත් මාස 3 ක් දක්වා ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මුලින් තීරණය කර තිබුණේ මෙම දීමනාව මාස 3ක් සඳහා පමණක් ලබාදීමටයි. එහෙත් එලෙස නිවාස අහිමි වූ බොහෝ පිරිස් තවමත් තාවකාලික ස්ථානවල නවාතැන්ගෙන සිටිනවා. එ් බව සැලකිල්ලට ගනිමිනුයි අදාළ දීමනාව තවත් මාස 3ක් ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

එහි කැබිනට් පති‍්‍රකාව ආපදා කළමනාකරණ අමාත්‍යංශය සමග ඒකාබද්ධව කඩිනමින් ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක කියා සිටියා.

මේ අතර සාලාව යුද හමුදා කඳවුරේ ඇති වූ පිපිරීමෙන් ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යාම සඳහා එම යුද හමුදා කඳවුරට අයත් ඉඩම් කොටස් ලබාදීමටද එකඟතාවක් ඇතිවී තිබෙනවා. යුද හමුදාව විසින් ප‍්‍රතිසංස්කරණය කරන ලද එහෙත් හිමිකරුවන් සෑහීමකට පත් නොවන නිවාස සඳහා වන්දි ලබා දීමටද සලකා බලන බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.