Friday, March 29, 2024

General line - 0115112241

ස්වාධීන කොමිසම් වැටුප් සහ දීමනා වැඩි වෙයි – යෝජනාව සම්මතයි




ස්වාධීන කොමිසන් සභාවල සභාපති සහ සාමාජික වැටුප් හා දීමනා සංශෝධනය කිරීමේ යෝජනාව අද (21) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 68 ක් හිමි වුණා. විපක්ෂව කිසිඳු ඡන්දයක් ප්‍රකාශ වුණේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය ඡන්දය විමසන අවස්ථාවේ සභාවෙන් පිටව ගියා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට, ස්වාධීන කොමිසන් සභාවල සභාපතිවරුන්ට සහ එ්වායේ සාමාජිකයන්ට ගෙවන ලබන වැටුප් හා දීමනා සංශෝධනය කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී මෙසේ යළි විවාදයට ගැනුනා.

විවාදය ආරම්භ කළේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතායි. එ්කාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් එහිදී ඝෝෂා කරමින් බාධා කළා.

එහිදී අගමැතිවරයා සඳහන් කළේ “අපි අධ්‍යක්ෂ ජනරාල්වරියගේ වැටුප අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක්ගේ වැටුප හා සමාන කරලා තියෙන්නෙ. ඒ හා සමාන අනික් සියලු දීමනාත් ලබා දෙනවා. ඊට අමතරව අමාත්‍යාංශ ලේකම් දීමනාව, දුරකතන දීමනාව, ඉන්දන දීමනාව, රජයේ නිල නිවාසයක් ලබා දී නොමැති නම් නිවාස කුලී දීමනාවද ලබා දෙන්න තමයි මෙතන යෝජනා කරන්නෙ.” යනුවෙනි.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ වැටුප සම්බන්ධයෙන්ද ඉදිරියේදී විශේෂයෙන් සලකා බලන බව අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. එහිදී හෙතෙම පැවසුවේ කොමිසන්වල නිලධාරීන්ගේ සහ සමාජිකයන්ගේ වැටුප් සංශෝධනය කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප් ගැන අවධානය යොමු කරන බවයි.