Wednesday, April 24, 2024

General line - 0115112241

ලක්ෂ 560 ක් වැය කර මධ්‍යම පළාතේ මන්ත‍්‍රීවරු රුසියානු සංචාරයක




මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකුගේ සහ නිලධාරීන් 7 දෙනෙකුගේ රුසියානු අධ්‍යයන චාරිකාවක් සඳහා රුපියල් ලක්ෂ 560 ක පමණ මුදලක් වෙන් කිරීම සඳහා රජය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව අදාළ චාරිකාවට සහභාගී වන පළමු මන්ත‍්‍රී කණ්ඩායම හෙට (27) දිවයිනෙන් පිටත්ව යනු ඇති.

ඊට මන්ත‍්‍රීවරුන් 29 දෙනෙකු ඇතුළත්. රුසියානු සංචාරය සඳහා සහභාගී වන මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීවරයෙකුගේ ගුවන් ටිකට්පතක මිල රුපියල් එක් ලක්ෂ අසූ දහසක් පමණ වනවා.

දින 7 ක කාලයක් මොවුන් රුසියාවේ සංචාරය කරනු ඇති. සංචාරයේ දී එක් මන්ත‍්‍රීවරයෙකුගේ ආහාර සහ නවාතැන් ගාස්තු සඳහා අමෙරිකානු ඩොලර් 1545 ක මුදලක් අයකර ගැනීමට සංවිධායකයන් තීරණය කර තිබෙනවා.

එය ආසන්න වශයෙන් රුපියල් දෙලක්ෂ විසිහතර දහසක් පමණ වනවා. ඊට අමතරව සංචාරය සඳහා සහභාගී වන සෑම මන්ත‍්‍රීවරයෙකුටම රුපියල් හැත්තෑ හය ලක්ෂ හතළිස් හතර දහස් නවසිය හතළිහක මුදලක් ලබා දීමට ද අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිව්ස් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකානායකගෙන් විමසීමක් කළා.

එහි දී ඇය ප‍්‍රකාශ කළේ අකමැත්තෙන් හෝ අදාළ රුසියානු අධ්‍යයන චාරිකාව සඳහා මුදල් වෙන් කිරීම සඳහා අනුමැතිය ලබාදීමට තමන්ට සිදු වූ බවයි.

මෙම අධ්‍යයන චාරිකාවේ දී රුසියාවේ දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතික හා සංවර්ධන යන ක්ෂේත‍්‍රයන් පිළිබඳ අධ්‍යයනය කිරීමට නියමිතයි.

එමෙන්ම රුසියාවේ කර්මාන්ත ක්ෂේත‍්‍රයන් සම්බන්ධයෙන් ද මධ්‍යම පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් මෙහි දී අධ්‍යයනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සංචාරයෙන් නිසි ප‍්‍රතිඵල ලබාගතහොත් එය රටට වඩාත් ඵලදායි වන බවයි පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකානායක සඳහන් කළේ.

පළාත් සභාව ගත් ඒකමතික තීරණයක් වෙනස් කිරීමට උත්සහ දැරීම තරමක් ගැටළු සහගත බව ද ඇය කියා සිටියා.