Wednesday, April 24, 2024

General line - 0115112241

බඩු මිල පීඩාකාරී ලෙස වැඩි බව ආණ්ඩුව කියයි




පීඩාකාරී ලෙස බඩුමිල වැඩි වී ඇතැයි ආණ්ඩුව අද (06) පිළිගත්තා. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ අසාමාන්‍ය ලෙස පාරිභෝගික භාණ්ඩ ගණනාවක මිල ගණන් ඉහළ යෑම පිළිබඳව වහාම සොයා බැලීමටත් ඒ පිළිබඳව මැදිහත් වීමටත් ක්ෂණික ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි.

බඩු මිල වැඩි වීමට හේතු හඳුනා ගැනීමට සහ බඩු මිල අඩු කිරීම සඳහා පියවර ගැනීමට විශේෂ කමිටුවක් පත් කෙරුණු බවද එහි පළමු රැස්වීම ඊයේ (05) දිනයේම පැවැත්වුණු බවද අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියා.

ආහාර වර්ග 10 ක් සඳහා රජයෙන් සහනාධාරයක් ලබාදීමට මෙම රැස්වීමේදී තීරණය කෙරුණු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. දැනටමත් අත්‍යාවශ්‍ය භාණ්ඩ 15 ක් ගැසට් නිවේදනයක් මගින් මිල පාලනයකට යටත් කර ඇති බවත් සඳහන් කළා.

අත්‍යවශ්‍ය ආහාර සහ සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් සතියකට දෙවරක් මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ කිරීම ඊයේ රැස්වූ කමිටුව විසින් ගනු ලැබ ඇති තවත් තීරණයක් බවත් සඳහන් කළා. වැට් බද්ද අදාළ වන හා අදාළ නොවන දෑ පෝස්ටර් මගින් ප‍්‍රසිද්ධ කිරීමට තීරණය කර ඇති බවද පැවසුවා.

මෙම අදහස් පළ කෙරුණේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි. ඊට එක්ව සිටි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද මෙහිදී අදහස් පළ කළා. හෙතෙම පැවසුවේ වැට් බද්ද මෙම වසර අගදී අඩු කිරීමට අපේක්ෂා කරන බවයි.