Saturday, April 20, 2024

General line - 0115112241

‘සයිටම් ගැන රජයට ප්‍රතිපත්තියක් කියලා එකක් නැහැ’




කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා.

ඒ මාධ්‍යවේදීන් එහිදී කළ කරුණු විමසීමකට අනුවයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද? යන්න එහිදී ප්‍රශ්න කෙරුණා. ඊට පිළිතුරු ලබා දුන්නේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතායි.

අධිකරණයේ පවතින කරුණක් සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස අදහස් පළ කර සිරදඬුවමට ලක්වීමට තමන් අකැමැති බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී කියා සිටියා.

කෙසේවෙතත් සයිටම් පිළිබඳව රජයට ප්‍රතිපත්තියක් යනුවෙන් කරුණක් නොමැති අතර එකී ආයතයේ සුදුසුකම් තීරණය කරන්නේ වෛද්‍ය සභාව බවත් පැවසුවා. වෛද්‍ය සභාව ස්වාධීන බවත් මේ සඳහා රජයේ බලපෑමක් නොමැති බවත් පෙන්වා දුන්නා. මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් සිදු වෙමින් ඇති බවත් එහිදී සාධාරණ තීන්දුවක් ලැබේ යැයිද සඳහන් කළා.

මේ අතර මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්පූර්ණයෙන් වසා දැමිය යුතු බව ජාතික භික්ෂු පෙරමුණද පවසනවා.

වසා දැමීම වෙනුවට එම වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමට ඇතැම් පිරිස් යෝජනා කළ ද තමන් ඊට එකඟ නොවන බවයි ජාතික භික්ෂු පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් වැඩි දුරටත් සඳහන් කළේ.