Friday, April 19, 2024

General line - 0115112241

“මගේ නම නැහැ – මකන්නනේ හදන්නේ”




පළාත් පාලන මැතිවරණය නොපවත්වා සමූපකාර ඡන්දය පැවැත්වූ ආණ්ඩුව එයද පරාජය වන නිසා දැන් දැන් සමූපකාර ඡන්දයද කල්දාන බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද (03) කොළඹ, නෙළුම් මාවත පිහිටි කාර්යාලයේ පැවති පළාත්පාලන නියෝජිතයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවා.

මීට පෙරාතුව නම් සාමාන්‍යයෙන් සමූපකාර ඡන්දය ගැන සැලකීමේදී ආණ්ඩුව කොතනැද එතැන සමූපකාරය බවත්, එහෙත් මේ කාලයේ ආණ්ඩුව කොතැනද සමූපකාරය ඇත්තේ අනිත්පැත්තේ බවත් රාජපක්ෂ මහතා සඳහන් කළා.

ජනතාව වඩාත් සමීපව ආශ්‍රය කරනු ලබන්නේ සමූපකාරය බැවින් මෙම ඡන්දවලින් පිළිඹිබු වන්නේ ජනතාව සැබෑ ලෙසම මේ ආණ්ඩුව කෙරෙහි කලකිරී සිටින බව යැයිද සඳහන් කළා. තමන්ගෙන් මාධ්‍යවේදීන් කුමන ප්‍රශ්නය ඇසුවද, කැමරාවලට හෝ මාධ්‍යවේදීන්ට පහරදෙන්නේ නැති බවත් පවසා සිටියා.

දඹුල්ල ප‍්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ලේ සමරු ඵලකයේ හිටපු ජනාධිපතිවරයාගේ නම ඇතුළත් කර නොතිබීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා.

ඊටද පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ “මගේ නම නැහැ.. මගේ නම මකන්නනේ ඒ කට්ටිය හදන්නෙ. ඒත් හැම මනුස්සයාම දන්නවා ඒක මම තමයි හැදෙව්වේ කියලා. ඒ කට්ටියගෙ නම් දාගෙන පෙන්නන්න හැදුවත්..කරුමෙ තමයි. හැබැයි ඉතින් මගේ නම මිනිසුන්ගෙ හදවතේ තියෙනවා.” යනුවෙනි.