Thursday, April 25, 2024

General line - 0115112241

කුඩා ධීවර බෝට්ටු නිපදවීම නවත්වන්න යයි




ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය කර්මාන්තයේ යෙදිය හැකි අඩි 55 ට වැඩි ධීවර යාත්‍රා නිපදවීමට සියයට 50 ක සහනාධාරයක් හා ණය මුදල් එම කර්මාන්තකරුවන්ට  ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

මෙරට නාවික සැතපුම් 24 ක දුරක් දක්වා ධීවර කටයුතු සිදු කරනු ලබන්නේ අඩි 41ට වඩා අඩු කුඩා ධීවර බෝට්ටු මගින්. මෙවැනි බෝට්ටු දැනට 47000 ක් පමණ ඇති අතර අඩි 55 ට වැඩි ධීවර යාත්‍රා තිබෙන්නේ 5000 කට ආසන්න ප්‍රමාණයක් බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙනවා. එයිනුත් ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීම සඳහා යොදා ගැනෙන්නේ ධීවර යාත්‍රා 3000 කට ආසන්න ප්‍රමාණයක් බවත් සඳහන්.

විශේෂයෙන් කුඩා ධීවර යාත්‍රාවල ඇති එන්ජින් නැවත අලුත්වැඩියා කරන ලද ඒවා වන අතර ඒවායින්  බොහොමයක් මුහුද මැද දී ක්‍රියා විරහිත වීම නිසා ධීවරයෝ මුහුදේ අතරමංවු විට හෙලිකොප්ටර් යොදවා බේරා ගැනීමට රජයට විශාල මුදලක් දැරීමට සිදුව ඇති බවත් මෙහිදී කරුණු පැහැදිළි කර තිබෙනවා.

එමෙන්ම අල්ලා ගත හැකි මසුන් ප්‍රමාණය සීමාසහිත වීමත්, ඒවා කල් තබා ගැනීමේ පහසුකම් මෙම කුඩා බෝට්ටුවල නොතිබීමත්,  මසුන් ඇල්ලීම සඳහා දැල් භාවිතා කිරීම වර්තමානයේ  අන්තර්ජාතිකව පිළිනොගැනීමත් නිසා නව තාක්ෂණය භාවිතයට හුරුවීමට ධීවර ජනතාවට සිදුව ඇති බවත් මෙහිදී අදහස් පළ වුණා.

එමනිසා ප්‍රමිතියෙන් තොර කුඩා ධීවර බෝට්ටු නිපදවන කර්මාන්තශාලා පිළිබදව ලැබෙන පැමිණිලි මත සොයා බලා ඒවායේ බලපත්‍ර අහෝසි කිරිමට පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා බෝට්ටු කර්මාන්ත කරුවන්ට ඊයේ  (06) උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.