Tuesday, April 23, 2024

General line - 0115112241

ඊයේ බැලුම්ගලින් හෙළි කළා – අද ඇමතිගෙන් විසඳුම්




නෙත් එෆ්.එම්. බැලුම්ගල වැඩසටහනින් ඊයේ (04) අනාවරණ කෙරුණු මත්තෙගොඩ සරසවි අරණ ඉඩම් හිමි ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ මැසිවිල්ලට විෂය භාර අමාත්‍ය ජෝන් අමරතුංගගේ අවධානය යොමුව තිබෙනවා.

නෙත් එෆ්.එම්. බැලුම්ගල වැඩසටහනින් අනාවරණ කෙරුණේ මිලදී ගත් ඉඩම් තුළ නිවාස ඉදිකර ගැනීමට අවසර නොලැබීමෙන් මෙම කලාකරුවන් පීඩාවට පත් වී සිටින බවයි. 2002 වසරේදී අදාළ ඉඩම් මිලදී ගැනුණු බවද එම අවස්ථාවේ සිය ප‍්‍රධාන අරමුණ වූයේ නිවාසක් ඉදිකර ගැනීම බවද ඔවුන් කියා සිටියා.

ජ්‍යෙෂ්ඨ කලා ශිල්පිනී රූපා ඉන්දුමතී සඳහන් කළේ වයෝවෘද්ධ කලාකරුවන් 26 දෙනෙකු තෝරාගෙන මෙම ඉඩම ලබා දුන් බවයි. ඒවා මිලදී ගැනීමට මුදල් අපහසුතා තිබුණද ණය ක්‍රම මගින් අවශ්‍යකරන මුදල් සොයා ගැනීමට වෙහෙස වූ බවත් පැවසුවා.

මිලදී ගත් ඉඩමෙහි නිවාස ඉදිකර ගැනීමට කලාකරුවන්ට නොහැකි වී ඇත්තේ පළාත් පාලන ආයතනයේ රෙගුලාසි නිසා බව ද නෙත් එෆ්.එම්. බැලුම්ගල වැඩසටහනට අනාවරණ වුණා.

මත්තෙගොඩ සරසවි අරණ ඉඩම් හිමි ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ මෙම මැසිවිල්ල සම්බන්ධයෙන් නෙත් නිවුස් විෂය භාර අමාත්‍ය ජෝන් අමරතුංගගෙන් ප‍්‍රශ්න කළා. ඔහු කියා සිටියේ ඔවුන්ට විසඳුමක් ලබාදීමට තමන් සූදානම් බවයි. එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ වත්මන් රජය වගුරු බිම් ගොඩ කිරීම ඉතාමත් සීමා සහිතව සිදු කරන්නට තීරණය කර ඇති බවයි. එහෙත් ඕනෑම සංවිධානයකට ජීවත් වීමට අවශ්‍ය ඉඩම් සපයා දීමට හැකි බවත් රටේ ඉඩම් ඇත්තේ රටේ ජනතාවට බවත් සඳහන් කළා.