Thursday, April 25, 2024

General line - 0115112241

පොලිස් අැප ගත් නෝනට වැඩේ වරදියි




කැළණිය, වරාගොඩවත්ත ප‍්‍රදේශයේ සිදුවු රිය අනතුරකට සම්බන්ධ කාන්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකර පොලිස් ඇප මත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ නායකත්වයෙන් විමර්ශන සිදුකෙරෙන බවයි.

පෙරේදා පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. කැළණිය, වරාගොඩවත්ත හංදියේදී වැරදි මංතීරුවේ පැමිණි මෝටර් රථය,  මෙම පාසල් සිසුවා අනතුරට ලක් කර තිබෙනවා.

කෙසේවෙතත් කැළණිය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මෝටර් රථය පැදවූ කාන්තාව අධිකරණයට ඉදිරිපත් නොකර සුළු වේලාවකින් පොලිස් ඇපමත මුදාහැර තිබෙනවා. ඒ, විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ බලපෑම මත බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ සිසුවා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප‍්‍රතිකාර ලබනවා. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් විමසීමක් කළා.

ඔහු පැවසුවේ රිය අනතුරකින් කිසියම් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පාර්ශ්ව පොලිස් ඇපමත මුදාහැරීමේ හැකියාවක් නොමැති බවයි. එලෙස අත්අඩංගුවට ගැණුනු පුද්ගලයන් අනිවාර්යයෙන්ම අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු බවද ඒ මහතා ප‍්‍රකාශ කළා. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කි‍්‍රයාත්මකයි.