Thursday, March 28, 2024

General line - 0115112241

13 වසරකට පසු ජොස් බට්ලර් එංගලන්ත ක්‍රිකට් පොත අලුතෙන් ලියන්නට සැරසෙයි




සංචාරක එංගලන්ත කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය අද බංගලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි

පසුගිය සමයේදී තම රටේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ බංගලාදේශ කණ්ඩායම 2014 වසරෙන් පසු එරට පැවති එක්දින තරඟ 20න් 17ක්ම ජයගෙන තිබෙනවා.

මෙම කාල පරිච්ඡේදයේදී ටමීම් ඉක්බාල් සෞම්‍ය සාර්කාර් හා කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් පිතිකරුවන් ලෙස ද, මුෂ්ෆිසර් රහුමාන් මෂ්රාෆේ මොර්ටාසා හා සකීබ් අල් හසන් පන්දු යවන්නන් ලෙසද බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් ඉහළ දක්ෂතා පෙන්වා තිබෙනවා.

උරහිසෙහි ඇතිවූ ආබාධයක් නිසා මුෂ්ෆිසර් රහුමාන්ට මෙම තරඟාවලිය අහිමි වුනු ඇති බවයි වාර්තාවන්නේ.

2015 වසරේ පැවති ලෝක කුසලානයෙන් පසුව එක්දින තරඟයක් සඳහා දෙරට හමුවන පළමු අවස්ථාව මෙයයි.එම ලෝක කුසලාන තරඟය එංගලන්තය පරාජය වී තිබුණා.

එංගලන්ත කණ්ඩායමද පසුගිය සමයේ ඉහළ දස්කම් දැක්වූ කණ්ඩායමක් වන නමුත්,ඔවුන් බොහෝ තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කලේ සිය රටේදී වන බැවින් එංගලන්ත කණ්ඩායම මව් රටෙන් පිටත දක්වන දස්කම් පිළිබඳ මැන ගැනීමට මෙය හොඳ අවස්ථාවක් වනු ඇති බවයි විචාරකයින් පවසා සිටින්නේ.

පිතිකරුවන් ලෙස ජේසන් රෝයි ජොනි බෙයාර්ස්ටෝ හා ජොස් බට්ලර් වෙත එංගලන්ත කණ්ඩායම වැඩි අවධනයක් යොමුකොට ඇති අතර මොයින් අලීගේ දඟ පන්දුව කෙරෙහි එංගලන්තය වැඩි බලාපොරොත්තු තබා තිබෙන බවයි වාර්තාවන්නේ.

මෙම තරඟාවලියේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වය කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් වෙත හිමිව ඇති අතර,ඔහු මෙම තරඟයේදී කඩුලු රකින්නෙකු ලෙස ක්‍රීඩා කළහොත් වසර 13ට පසු කඩුලු රකින පිතිකරුවෙකු එංගලන්ත එක්දින කණ්ඩායමේ නායකත්වය දරන පළමු අවස්ථාව මෙය වනවා.