Saturday, April 20, 2024

General line - 0115112241

මුහුදු කොටි මෙල්ල කළ ‘ඇරෝ යාත්‍රාවල’ නම වෙනස් කරයි




කොටි ත්‍රස්තවාදීන් විසින් භාවිතා කරන ලද ‍කුඩා යාත්‍රාවන්ට එරෙහිව ප්‍රහාර දියත් කිරීම සඳහා සාර්ථක ලෙස යොදා ගත් අඩි 16 ක් දිග ඇරෝ යාත්‍රාවල නම වෙනස් කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.

නවීන වර්ගයේ අවි දෙකක් වන මිලි මීටර් 40 ස්වයංක්‍රීය ග්‍රෙනේඩ් විදින අවි සහ 7.62 x 51 බහු කාර්යය ස්වයංක්‍රීය අවි 2 ක්, එය‍ටම සරිලන ආකාරයේ අඛණ්ඩ රාමු සහිත අවි රඳවන 2 ක් ද සහිතව නවීකරණය කරන ලද මෙම යාත්‍රා වෙඩි බලය හැසිරවීමේ පහසුව සහ වේගයත් නිසා කළපු ආශ්‍රිත යුද සටන්වලදී ජයග්‍රහණ රැසක් නාවික හමුදාව වෙත අත්කර දුන්නා.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශේෂ යාත්‍රා බලඝණයේ සම නිර්මාතෘ වශයෙන් නාවික ඉතිහාසයට එක්ව සිටින දිවංගත කොමාණ්ඩර් සෙඩ්රික් මාර්ටෙන්ස්ටයින් එන්.වී.එක්ස්. 5068 නිලධාරියාට සිදු කරන ‍ගෞරවයක් වශයෙන් පසුගියදා යෙදී තිබූ ඔහුගේ 70 වැනි ජන්ම දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මෙම ඇරෝ යාත්‍රා “‍සෙඩ්රික්” (Cedric) ලෙස හැදින්වීමට නාවික හමුදාව තීරණය කර තිබෙනවා. වේග ප්‍රහාරක යාත්‍රා හා පිටත දහන එන්ජින් පිළිබද කොමාණ්ඩර් මාර්ටෙන්ස්ටයින්ගේ විශේෂඥ දැනුම උපයෝගි කොට ගෙන ඇරෝ යාත්‍රා නිර්මාණය කර තිබුණා.

වත්මන් නාවික හමුදාපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ දිවංගත, කොමාණ්ඩර් සෙඩ්රික් මාර්ටෙන්ස්ටයින් විසින් 1993 වර්ෂයේ ඔක්තෝබර් මස විශේෂ යාත්‍රා බලඝණය ස්ථාපිත කළ අතර, ඒ සඳහා රාජකීය විශේෂ යාත්‍රා බලඝණය සහ එක්සත් ජනපදයේ සීල් විශේෂ යාත්‍රා ඒකකය පදනම් කර ගෙන තිබුණා.

කොමාණ්ඩර් මාර්ටෙන්ස්ටයින් මහතා 1995 වර්ෂයේදී විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී ලෙසට රාජකාරී භාර ගත් අතර, එම අවස්ථාව ස්වේච්ඡා නාවික හමුදාවේ නිලධාරියෙකු විශේෂ යාත්‍රා බලඝණය වෙත අණදුන් පළමු නිලධාරියා ලෙස නාවික ඉතිහාසයට එක්වනවා. විශේෂ යාත්‍රා බලඝණයේ රාජකාරී කළ ලුතිනන් ‍කොමාණ්ඩර් තුෂාර පලිහේන සහ කොමාණ්ඩර් මාර්ටෙන්ස්ටයින් යන නිලධාරීන් දෙදෙනා හෙලිකොප්ටරයකින් ගමන් කරමින් සිටියදී 1996 ජනවාරි මස 22 වන දින වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී එල්ල වූ සතුරු ප්‍රහාරයකින් අතුරුදහන් වුණා.

ඉතාමත් අසීරු අවධියක අලිමංකඩ යුධ හමුදා කඳවුරේ රාජකාරි සඳහා යොදවා තිබූ විශේෂ යාත්‍රා බලඝණයට අයත් නාවිකයන් පිළිබඳ සොයා බැලීමට එහි ගොස් ආපසු එමින් සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පාන්නට කොමාණ්ඩර් මාර්ටෙන්ස්ටයින් හට සිදු වූ බවයි නාවික හමුදාව පැවසුවේ.

පියාගේ අඩිපාරේ යමින් 1994 සැප්තැම්බර් මස 6 වන දින AN 32 ප්‍රවාහන ගුවන් යානයක ගුවන් නියමුවෙකු වශයෙන් ගුවන් හමුදාවට බැඳුනු පියාසර නිලධාරී ජේසන් මාර්ටෙන්ස්ටයින් 1995 සැප්තැම්බර් මස 13 වැනි දින ක්‍රියාන්විත රාජකාරියේදී සිය දිවි මව්බිම වෙත පූජා කළා. මාතෘ භූමියේ ස්වෛරීත්වය උදෙසා සිය ජීවිතය පූජා කළ පිය පුතුන් අතලෝස්සක් අතරින් මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා ඉතිහාසය තුළ නොමැකෙන සටහනක් තබා ඇති බවයි නාවික හමුදාව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

1 2 3 4 5 6 7 8