Friday, April 19, 2024

General line - 0115112241

බස් නැවතුමේදී ඇස් පරීක්ෂා කරගන්න වැඩපිළිවෙලක්




ශ‍්‍රී ලංකාවේ ලක්ෂ 15 කට වැඩි පිරිසක් විවිධ අක්ෂි දෝෂවලින් පෙළෙන බව අධ්‍යයනවලින් තහවුරු වී තිබෙනවා. ලක්ෂ එකහමාරක් පමණ පිරිසක් අන්ධ භාවයට පත්ව තිබෙන බවයි එම අධ්‍යයනවලින් වැඩිදුරටත් තහවුරු වී ඇත්තේ.

අදට යෙදෙන ලෝක දෘෂ්ටි දිනය වෙනුවෙන් නෙත් නිවුස් කළ විමසීමකදී මෙම සංඛ්‍යාලේඛන අනාවරණ වුණා. ලෝකය පුරා අන්ධභාවයට පත්වූවන්ගේ මුළු සංඛ්‍යාව ලක්ෂ 390 ක් පමණ බවයි එහිදී වැඩිදුරටත් අනාවරණ වුණේ.

මේ අතර අක්ෂි දෝෂ අවම කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ වැඩසටහන් ගණනාවක් දැනටමත් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළේ රෝහල්වල අක්ෂි ඒකක වැඩි දියුණු කර ඇති බවයි. ඇතැම් රෝහල්වල ඕනෑම මොහොතක අක්ෂි ශල්‍යකර්මයක් සිදු කිරීමේ හැකියාව ඇති බවත් පෙන්වා දුන්නා. අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය වැඩි කිරීමටද තීරණය කර ඇති බවත් සඳහන් කළා.

බස් නැවතුම්පොළවලදී ද ඇස් පරීක්ෂා කරගත හැකි ක‍්‍රමයක් ඉදිරියේදී හඳුන්වාදෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව එකී බස් නැවතුම් පොළවල්වලදී තමන්ටම තමන්ගේ ඇස් පරීක්ෂා කර ගැනීමේ හැකියාව පවතින බවත් සඳහන් කළා.

ඇසේ සුද ඉවත් කිරීමේ පරීක්ෂණ සහ රජයේ රෝහල් තුළ ඇස් කණ්නාඩි නිෂ්පාදනය තවදුරටත් පුළුල් කිරීමට ද පියවර ගන්නා බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල වැඩිදුරටත් කියා සිටියේ.

පාසල් දරුවන්ට නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.