Tuesday, April 23, 2024

General line - 0115112241

ලසන්ත ඝාතනයේ වගකීම භාරගත් බුද්ධි නිලධාරියා ගැන නීතිවේදීන් පැහැදිළි කරයි




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වගකීම භාරගෙන දිවි නසාගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරියා විසින් ලියන ලද ලිපිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විධිමත් විමර්ශනයක් සිදු කළ යුතු බව නීතිවේදීන් පවසනවා.

නීතිඥ යූ.ආර්. ද සිල්වා පෙන්වා දෙන්නේ අදාළ ලිපිය කිසියම් පාර්ශ්වයකගේ බලපෑම මත ලියන ලද්දක්ද යන්න සම්බන්ධයෙන් සහ ලිපියේ ඇත්තේ ඔහුගේ අත්අකුරුමද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බවයි.

පොලීසිය ඇතැම් අවස්ථාවන්වලදී විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සාක්ෂි ලැබෙන තෙක් සහ පරීක්ෂණ සිදු කරන තෙක් ඔහුව රඳවා තබා ගන්නා බවත් මීට පෙරද මෙවැනි සිදුවීම් සිදුව ඇති බවත් නීතිඥ යූ. ආර්. ද සිල්වා වැඩිදුරටත් පෙන්වා දුන්නා. මෙය නීතිමය වශයෙන් නොකළ යුතු ක්‍රියාවක් වුවත් තවමත් පොලිසිය විසින් එවනි දේ සිදු කරන බවත් පැවසුවා.

කෙසේ වෙතත් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින යුද හමුදා නිලධාරින් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධයක් නොමැති බවට තහවුරු වුවහොත් ඔවුන්ට මානව හිමිකම් කොමිසමේ පිහිට පැතිය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

එමෙන්ම ස්වාධීන කොමිසන් සභාවල සිටින නිලධාරීන් සම්බන්ධයෙන්ද ගැටලු මතුවන බවයි නීතිඥ යූ.ආර්. ද සිල්වා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

(එම හඬපටය පහතින් දැක්වෙයි)