Wednesday, April 24, 2024

General line - 0115112241

මට්ටක්කුළිය වෙඩිතැබීම ගැන තවත් තොරතුරු




මට්ටක්කුලිය සමිත්පුර ප‍්‍රදේශයේ ඊයේ (23) රාත‍්‍රී සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියයාමේ සිද්ධිය පාතාල කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප‍්‍රතිඵලයක් බව පොලිසිය පවසනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු මේ වනවිට ප‍්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේයි.

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාශය මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ රාත‍්‍රී 7.30 ට පමණ මට්ටක්කුළිය පොලිස් වසමේ සමිත්පුර ප‍්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදු වුණා. ඉන් පුද්ගලයින් 07 දෙනෙකු බරපතල තුවාල ලැබූ අතර ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයින් අතර සිටින ආර්. පී. නුවන් සංජීව නොහොත් ‘‘චූටි උක්කුන්’’ නමැති 29 හැවිරිදි පුද්ගලයා ‘‘ආමි සම්පත්’’ නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ සමීපතමයෙක් වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔහු ‘‘සංඛ’’ නමැති පාතාල කල්ලි සාමාජිකයා සමග ද සබඳතා පවත්වා ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් 24 හැවිරිදි රංග පෙරේරා නමැත්තෙකු සහ 26 හැවිරිදි දෙනුවන් නමැත්තෙකු ද මිය ගියා. සිද්ධියෙන් මියගිය අනෙක් පුද්ගලයා වන්නේ 29 හැවිරිදි මොහොමඩ් මවුන් නමැත්තෙක්.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටින පිරිස අතර චාමර සඳරුවන් නමැති පුද්ගලයෙකු ද සිටිනවා. ඔහු අදාළ සිද්ධියෙන් මියගිය ආර්. පී. නුවන් සංජීව නොහොත් චූටි උක්කුන්ගේ සහෝදරයෙකු බවයි පොලිසිය පවසන්නේ.

තුවාල ලැබූ ශ‍්‍රී කාන්ත් නමැත්තෙකු ද කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. එමෙන්ම ඉසාඩ් මොහොමඩ් නමැත්තෙකු ද තුවාල ලබා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය පවසන්නේ. ඔහු පුද්ගල ඝාතනයකට සම්බන්ධ අයෙකු බවට ද විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ඉකුත් 2014 වසරේ දී පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන රොෂාන් නමැත්තාගේ පියා කිසියම් පිරිසක් විසින් කපාකොටා ඝාතනය කර තිබුණා. එය සිදු කර තිබෙන්නේ මෙම වෙඩි තැබීමෙන් මියගිය ආර්. පී. නුවන් සංජීව නොහොත් චූටි උක්කුන් නමැති පුද්ගලයා විසින් බවටයි සැක කෙරෙන්නේ. ඔහු කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිට මීට දින කිහිපයකට පෙර නිදහස ලබා පැමිණ තිබෙනවා. රොෂාන් නමැත්තාගේ පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවති ආරවුල දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි දැනට සිදු කර ඇති විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.