Wednesday, April 24, 2024

General line - 0115112241

නෙත් රේඩියෝවේ නම විකුණමින් ක‍්‍රියාත්මක වූ වංචාවට සම්බන්ධ දෙදෙනෙකු රිමාන්ඩ්




නෙත් එෆ්. එම්. රේඩියෝවේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නම් සඳහන් කරමින් වංචනික ක‍්‍රියාවක නිරත වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා සහ තරුණිය අද (24) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, මීගමුව වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඔවුන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුවන් සීදුව පොලිසිය මගින් පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගැණුනා. ඒ, ශ‍්‍රවකයෙකු ලබාදුන් තොරතුරක් අප විසින් පොලිසියට ලබාදීමෙන් අනතුරුවයි.

සැකකරුවන් දෙදෙනා සීදුව ප‍්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් සහනදායී මිලට ජල පෙරණ යන්ත‍්‍ර ලබාදෙන බව පවසා එම ලැයිස්තුවට නම් ඇතුළත් කිරීමට එක් අයෙකුගෙන් රුපියල් දහස බැගින් මුදල් එකතු කර ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණ වුණා.

අදාළ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝව හා සෞඛ්‍ය අමාත්‍යංශය සමගින් බවයි සැකකරුවන් ප‍්‍රකාශ කර ඇත්තේ.

සැකකාර තරුණයා යටියන්තොට ඩෙරන්වල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය හාරිස්පත්තුව මැදවල ප‍්‍රදේශයේ පදිංචිකාරියක්.

මින් ඉදිරියට ද නෙත් එෆ්. එම්. රේඩියෝවේ නම සඳහන් කරමින් කිසියම් පුද්ගලයෙකු වංචනික ක‍්‍රියාවක් සිදු කිරීමට උත්සහ දරන්නේ නම් 0112 50 70 80 දුරකතන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ අප වෙත තොරතුරු ලබා දිය හැකියි.

එමෙන්ම 072 7 372 372 බැලුම්ගල ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ද එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකියි.