Wednesday, April 24, 2024

General line - 0115112241

සුදු කැස්බෑවාගේ සිරුරු කොටස් වසර 03කට පසු හමුවෙයි




මහත් ආන්දෝලනයකට තුඩුදෙමින් අතුරුදන් වූ බව කියූ සුදු කැස්බෑවා මරා දමා ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා.

මෙම සුදු කැස්බෑවාගේ සිරුරු කොටස් අද (29) සොයා ගත්තේ දික්වැල්ල පිහිඹිය ප‍්‍රදේශයේ පිහිටි පාළු ළිඳක තිබියදීයි. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ගේ හා වන සත්ව සංරක්ෂණ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්.

කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිටි මෙම සුදු කැස්බෑවා 2013 වසරේ දී අතුරුදන් වුණා. අධික මිලකට අලෙවි කිරීමේ අරමුණින් සුදු කැස්බෑවා මාලදිවයිනට රැගෙන ගිය බවට ද විවිධ වාර්තා පළ වුනේ ඒ අතරතුරයි.

මෙම සිද්ධියට ජනප‍්‍රිය ගායකයෙකුගේ නම ද ඈදීමත් සමග ඒ පිළිබඳ රට තුළ ඇතිවූයේ දැඩි කතාබහක්. ඒ සියල්ල අසත්‍ය ප‍්‍රචාර බවයි කොළඹ අපරාධ කොට්ඨාශය සිදු කළ පරීක්ෂණයක දී අනාවරණ වී ඇත්තේ.

සුදු කැස්බෑවාගේ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවික හමුදා නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.

තවත් සැකකරුවෙකු අද අත්අඩංගුවට ගැණුනා. මෙම සුදු කැස්බෑවා පැහැර ගැනීමට දික්වැල්ල ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරයෙකු ද සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.