Thursday, April 25, 2024

General line - 0115112241

ජීවත් වෙන්න ඉඩම් විකුණපු හැටි චන්ද්‍රිකා හෙළි කරයි




සිය ජනාධිපතිධුරයෙන් නික්ම යනවිට මුදල් නොතිබුනු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක පවසනවා.

ඇය ගම්පහ ප‍්‍රදේශයේ අද (29) පැවති උත්සවයකට එක්වෙමින් මේ බව කියා සිටියා.

ජීවත්වීමට මුදල් සොයාගන්නා ආකාරය පිළිබඳව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක අද (29) හෙළිකලා.

“මම ජනාධිපතිධුරයෙන් ගෙදර යනකොට මට මුදල් තිබුනේ නැහැ. කවුරුත් විශ්වාස කරන්නැහැ මේක. මගේ බැංකු ගිණුමේ තිබුනේ ලක්ෂ 30යි. වෙන සතයක්වත් තිබුනේ නැහැ. හිටපු ජනාධිපතිකෙනෙක් හැටියට මට ලැබෙන්න තිබුණු වරප්‍රසාද සියල්ල රාජපක්ෂ මැතිතුමා කපලා දැම්මා. ආරක්ෂකයින් දීලා එකත් ඔක්කොම ගත්තා එකදවසක්. ආපහු එක එක්කෙනා කෑකෝගහලා ටිකක් දුන්නා. කොහොමහරි ඒ එල්.ටී.ටී එක මාව මරනවා කියලා ප්‍රකාශ නිකුත් කරපු කාලේ.

එක පැත්තකින් තියමුකො, දැන් ජීවත් වෙන්න ඕනේ, කොහොමද කරන්නේ. හොරකම් කරන්නත් බැහැ. හොරකම් කරලත් නැහැ. නමුත් එක වත්කමක් අපිට තිබුණා. වටිනා ඉඩම් තිබුණා අපිට හොරගොල්ලෙ. ඒවායින් අක්කර 3000ක් අපේ අම්මා නීතීයක් ගෙනල්ලා ජනතාවට, රජයට බාරදීලත් තිබුනේ. එතකොට අක්කර 50යි ඉතුරුවුනේ 50හෙන් 11ක් මම විකුණලා. විජය අපි කරපු දේශපාලනයට මුදල් හොයන්න. ඉතිරි අක්කර තිස්ගානයි.

මම බොහෝම අකමැත්තෙන් අපේ සීයලා, මුත්තලා පරම්පරා 10ක් විතර අපිට අයිතිවෙලා තිබ්බ ඉඩම් මේවා බොහෝම ආරක්ෂා කරලා හදපු ඉඩම්. අපි විනාශ කරන්න බැහැ. ඉතුරුවෙච්ච ටිකවත් කාටද විකුණන්නේ කියන එක මට ලොකු ප්‍රශ්ණයක් ආවා. පළවෙනි වතාවට මම විකුණන්න අක්කරයක් දැම්මා. මේ හොරකම් කරන මිනීමරන මිනිස්සුන්ට මම දෙන්න කැමතිවුනේ නැහැ. වැරදි වැඩ කරන්න, මස්කඩ දාන්න , දෙන්න කැමතිවුනෙත් නැහැ. දැන් කාටද මේක දෙන්නේ කියලා මම හොයනවා. එතකොට එක එකකෙනා ආවා. අන්තිමට සණස ගම්පහ ලලිත ජයසූරිය නීතිඥතුමා මට කතාකරා මම දන්නෙත් නැහැ එතුමා කවුද කියලා එතකොට. මගේ ගෝලයෙක් හරහා මාව මුණගැහිලා මම බොහොම කැමැත්තෙන් ආයෙත් හිතන්නෙත් නැතුව සණසට ඒ අක්කරය වික්කා. මම පළවෙනි වතාවට හොරගොල්ලේ මගේ ඉඩමක් වික්කේ.

ඒ ඉඩමෙන් මගේ දුවගේ මගුල් ගෙදරට වියදම් කරා. ඉතුරු සල්ලි ටිකෙන් හොරගොල්ල වලව්ව හදාගත්තා. එක් කඩාගෙන වැටිලා වහලා දාලා තිබුනේ අවුරුදු 10ක්. ඒ ආකාරයට සණස මටත් උදව්වෙලා තියෙනවා. ඊලඟට ඉතින් තව තව වික්කා ඉතිං දැන් මේකේ රහ වැටුණා. මට ඉතිං අත මිට දිගහැරලා වියදම් කරන්නත් ඕනේ. ලෝභවෙන්නත් බැහැ. ඉතිං ටික ටික විකුණලා දැන් සෑහෙන්න විකුණලා තියෙනවා. දැන් තවත් අක්කර දෙකක් විකුණන්න දාලා. දැන් කිසි ප්‍රශ්ණයක් නැතුව ජීවත් වෙනවා රාජපක්ෂලගේ පිහිට මට අවශ්‍ය වුනේ නැහැ”.

ගම්පහ සණස සුව සෙවණ සයමහල් ගොඩනැගිල්ල ගම්පහ මහ රෝහලට පරිත්‍යාග කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා.