Saturday, April 20, 2024

General line - 0115112241

ඕමානයේ දී ශ්‍රී ලාංකික කාන්තාවන් සූරා කන හැටි



ජාවාරම්කරුවන් විසින් ඕමානයේ දී ශ්‍රම සුරා කෑමට ගොදුරු කරගනු ලබන ගෘහ සේවිකාවන් අතර ශ්‍රී ලාංකික කාන්තාවන්ද වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

වීසා නොමැතිව ඕමානයට යැවීමේ ජාවාරමක් පිළිබඳ බීබීසි සංදේශය කළ විමසුමකට පිළිතුරු සපයමින් කාර්යාංශයේ විදේශ සම්බන්ධතා පිළිබඳ සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

ඕමාන් හි පවතින ලිහිල් වීසා රෙගුලාසි හේතුවෙන් එරට සංචාරයට යන බව පවසමින් වීසා බලපත් ලබා ගන්නා පුද්ගලයන්ට රටට ඇතුළු වීමෙන් පසු රැකියා වීසා බලපත් වලට මාරු වීමේ හැකියාව පවතින බව ඔහු පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ශ්‍රී ලංකාවෙන් සහ අනිකුත් රටවලින් ගෙන්වා ගනු ලබන ගෘහ සේවිකාවන් දේශ සීමාව තරණය කරවා ඕමානය වෙත ගෙන යාමේ ජාවාරමක් පවතින බවයි ඔහු පවසන්නේ.

ශ්‍රී ලංකා විදේශ රැකියා කටයුතු භාර අමාත්‍යවරිය තලතා අතුකෝරල ඕමානයේ සංචාරයක නිරත වූ අවස්ථාවක මෙම ගෘහ සේවිකා ජාවාරම සම්බන්ධයෙන් එරට රජය සමග සාකච්ඡා පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

යම් කිසි ශ්‍රී ලාංකිකයකු එලෙස ඕමාන සංචාරක වීසා බලපත්‍රයක් රැකියාවක් වෙනුවෙන් වෙනස් කිරීමට ඉල්ලුම් කළ අවස්ථාවක ඊට අනුමැතිය ලබා දීමට පෙර ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගැනීමට ඕමාන රජය එකඟ වී ඇති බවයි ගාමිණි සෙනරත් යාපා මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.