Saturday, May 11, 2024

General line - 0115112241

මංගල ටෙස්ට් තරගවල ශතක වාර්තාකළ අපේ වීරයෝ




ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ටෙස්ට් වරම් හිමිවීම ඔහුගේ ජීවිතයේ ලැබෙන ඉතාම වාසනාවන්ත අවස්ථාවක් වනවා. කිසියම් ක්‍රීඩකයෙකු සිය මංගල ටෙස්ට් තරගයට සහභාගීවීමට පිටියට පැමිණෙන විට කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් විවිද ආකාරයෙන් ඔහුට සුබ පැතීමද අප ඕනෑතරම් දැක තිබෙනවා. ඇතැම් අවස්ථාවක එම ක්‍රීඩකයාට පිටියට පැමිණෙන විට ඔහුගේ හිස් ආවරණය හෝ කැප් තොප්පිය කණ්ඩායමේ නායකයා අතින් ලබාදීම සිදුවනවා. එම හිස් වැසුම බොහෝ විට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා අවසාන ටෙස්ට් තරගය ක්‍රීඩාකරන දිනය දක්වාම රැකගැනීමට සහ එය පැළඳ ක්‍රීඩා කිරීමට බොහෝ ක්‍රීඩකයන් කටයුතු කරනු ලබනවා. ලොව බිහිවූ සුපිරි ක්‍රීඩකයෙකු වූ කුමාර් සංගක්කාර ටෙස්ට් පිටියෙන් සමුගන්නා දා , පැළඳ සිටි හිස්වැසුම තමා සහභාගී වූ මංගල ටෙස්ට් තරගයේදී භාවිතා කල එකම බව එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කර තිබුනා.

මංගල ටෙස්ට් තරගයේදී තමා දක්වන දක්ෂතා ද සෑම ක්‍රීඩකයෙකුටම සිය අනාගතය සඳහා අතිශ්‍ය ප්‍රයෝජනවත් වනවා. විටෙක එය ක්‍රීඩකයෙකුට ආශිර්වාදයක්. තමා සහභාගී වන මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගැනීමට හැකිවීම එම ක්‍රීඩකයාට පමණක් නොව ඔහුගේ රටට, කණ්ඩායමට සහ ප්‍රතිවාදී කණ්ඩායමටද අතිශ්‍ය වැදගත් සිදුවීමක් වනවා.

තමා සහභාගී වූ මංගල තරගයේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් මුලින්ම ශතකයක් වාර්තා කළේ බ්‍රෙන්ඩන් කුරුප්පුයි. ඒ 1987 වසරේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹදීයි. එදා බ්‍රෙන්ඩන් කුරුප්පු නොදැවී ලකුණු 201ක් වාර්තාකළා. මංගල තරගයේදීම ශතකයක් වාර්තාකළ දෙවැන්නා වන්නේ රොමේෂ් කලුවිතාරණ 1992 වසරේදි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි. කොළඹ පැවති එම තරගයේදී කලුවිතාරණ නොදැවී ලකුණු 132 වාර්තා කළා. එයින් වසර 09කට පසු තිලාන් සමරවීර 2001 වසරේදී ඉන්දියාවට එරෙහිව කොළඹදීම සිය මංගල ටෙස්ට් තරගයේදී තවත් ශතකයක් වාර්තාකළා. අද (07) සිම්බාබ්වේහී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී අසේල ගුණරත්නද ශතකයක් වාර්තා කළා. ඒ සිම්බාබ්වේට එරෙහිව ලකුණු 127ක්. අසේල ගුණරත්න ටෙස්ට් වරම් දිනාගත්තේ මෙම සිම්බාබ්වේ සංචාරය වෙනුවෙන්. ඔහු සහභාගී වූ මංගල තරගය වූ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේදීම ඔහු අර්ධ ශතකයක් වාර්තාකළා. අද ඔහු සහභාගී වූයේ සිය දෙවන තරගයටයි. ඔහු මෙම තරගයේදී වාර්තාකළ ශතකය වඩාත් වැදගත් වන්නේ මංගල තරග සංචාරයකදී ශ්‍රී ලංකාවෙන් පිටත ක්‍රීඩාංගනයකදී අසේල ගුණරත්න මෙම දක්ෂතාවය දැක්වූ නිසයි. ඒ අනුව තිලාන් සමරවීර 2001 වසරේදී සිය මංගල තරගයේදී ටෙස්ට් ශතකයක් වාර්තාකිරීමෙන් පසු වසර 15ක් ගතවී ඇතත් කිසිඳු ශ්‍රී ලාංකික නවක ක්‍රීඩකයෙකුට සිය මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට හැකි වී නැහැ. ඒ අනුව ගත් කල අසේල ගුණරත්න සිය මංගල තරග සංචාරයේදී තම දෙවන තරගයෙන්ම අද වාර්තාකළ ශතකය ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට ප්‍රබොධය ගෙන එන්නක් බව කිව යුතුමය.