Thursday, April 18, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ ජයෙන් ලංකාවට වෙන දේ පහදයි




අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඞ් ට‍්‍රම්ප් තේරී පත්වීමෙන් ශ‍්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම කුමක්දැයි නෙත් නිවුස් විමසීමක් කළා.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මහාචාර්ය නයනි මැලගොඩ සඳහන් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ක්‍රියාවලිය පුරාම විදේශ රටවල් සමග සම්බන්ධතාවය තබා ගන්නා ආකාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් අදහස් දක්වා නොතිබූ බවයි. කෙසේවෙතත් අමෙරිකාවට මිත්‍රශීලි රටවල් සමග ශක්තිමත් සම්බන්ධතාවයක් රඳවා ගැනීමට ඔහු අපේක්ෂා කරන බව ප්‍රකාශ කර ඇති බවත් පෙන්වා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ඉදිරි සම්බන්ධතාවය වඩා හොඳ තත්ත්වයක පවතිනු ඇතැයි විශ්වාස කළ හැකි බවත් සඳහන් කළා.

දේශපාලන විචාරකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලකගෙන් නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විමසා සිටියා.

එහිදි ඔහු සඳහන් කළේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ඝෘජු සහ අනියම් ආකාරයට ලංකාවට බලපෑම් එල්ල කළ හැකි බවයි. එහි වැඩි බලපෑමක් ශ්‍රී ලංකාවට සුභදායි ලෙස බලපානු ඇති බවත් සඳහන් කළා. ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වූ හිලරි ක්ලින්ටන් දමිළ ඩයස්පෝරාවේ නොමසුරු සහාය ලැබූ බවත් සඳහන් කළා. ඒ අනුව ඇය ජනාධිපති ධූරයට පත් වූයේ නම් ලංකාවට එය අසීරු තත්ත්වයක් උදා කරනු ඇති බවත් පැවසුවා. උතුරේ ජාතිවාදීන්ගේ විශාල බලාපොරොත්තුවක් ඒ අනුව බිඳ වැටුණු බවත් සඳහන් කළා.

හිලරිගේ පරාජයෙන් සහ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණයෙන් ශ‍්‍රී ලංකාවට ද දේශපාලන පාඩම් කිහිපයක් කියාදෙන බව මෙහි දී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

ලංකාවේ 2015 වසරේ ජනවාරි 08 වැනිදා සිදු ජයග්‍රහණයට මූලය වූ උපාය ක්‍රියාත්මක කර හිලරි ක්ලින්ටන් පරාජය වූ බවයි එහිදි සඳහන් කළේ. ඒ අනුව සුලුතරයන් සියල්ල එකතු කර බහුතරයේ කුඩා කොටසක් ලබා ගත් විට ජයග්‍රහණයට ඇතියි කියන සංකල්පය මෙහිදී පරාජය වුණ බවත් සඳහන් කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක අනුගමනය කරන්නේද එම පිළිවෙත බවත් පෙන්වා දුන්නා.