Wednesday, April 24, 2024

General line - 0115112241

අද ජනතා අපේක්ෂා ඉටු වෙයි ලු




2017 සඳහා වූ අයවැය අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පස්වරු 2.00 ට අයවැය කතාව ආරම්භ කිරීමට නියමිතයි.

ඉකුත් දා ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2017 වසරේ රජයේ මුළු වියදම රුපියල් කෝටි එක්ලක්ෂ අසූදහස් නවසියයක්. එම වියදම පියවා ගන්නා ආකාරය අද ඉදිරිපත් කෙරෙන අයවැයෙන් විස්තර කෙරෙනු ඇති.

මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ ජනතා අදහස් සැලකිල්ලට ගනිමින් මෙම අයවැය සකස් කර ඇති බවයි. එයින් ජනතා අපේක්ෂා ඉටු කරන බව ද ඔහු පැවසුවා.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ අද ඉදිරිපත් කෙරෙන අයවැයෙන් අලුත් යමක් බලාපොරොත්තු විය නොහැකි බවයි. ජනතාවට සහන දීමට වත්මන් ආණ්ඩුවට නොහැකි බව ද ඔහු කියා සිටියා.

2017 අයවැය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමෙන්ද නෙත් නිවුස් විමසීමක් කළා. අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා කොයිතරම් දුරට පිළිඅරගෙන ඇත්දැයි මින් දැනගත හැකි බවයි. පාරිභෝගිකයින්ට සහන සැළසෙන යෝජනා කිහිපයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ බවත් පැවසුවා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ අද ඉදිරිපත් කෙරෙන අයවැය ජනතා අපේක්ෂා ඉටු කරන්නක් බවට ආණ්ඩුව ප‍්‍රකාශ කළත් එය විශ්වාස කළ නොහැකි බවයි.  අයවැය සඳහා තමන්ගෙන් යෝජනා කැඳවීමක් හෝ තමන් එවැනි යෝජනා ඉදිරිපත් කිරීමක් සිදු නොවූ බව ද ජනතා විමුක්ති පෙරමුණ පැවසුවා.