Friday, April 26, 2024

General line - 0115112241

“ගුරුවරු ඔක්කොම දැන් උසස් පෙළට උගන්වන්න පොරකයි”




උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා අයවැයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාව සම්බන්ධයෙන් විවිධ විවේචන ඉදිරිපත් වනවා.

අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ ශිෂ්‍ය ප‍්‍රජාව දැනුමෙන් බලගැන්වීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරන බවයි. කෙසේ වෙතත් සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට පෙර කළ යුතු තවත් බොහෝ දෑ ඇතැයි ගුරු සංගම් පවසනවා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමයෙන් විමසීමක් කළා. එහිදී එම සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ නවීන ලෝකයට ගැළපෙන ලෙස අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය විය යුතුව ඇතිමුත් සනීපාරක්ෂාව සහ ජානීය ජලය අවශ්‍යතාව නැති පාසල්වලට ටැබ් පරිගණක ලබාදීම විහිළු සහගත බවයි.

ලංකා ගුරු සංගමය ද මේ සම්බන්ධයෙන් පළ කළේ මීට සමාන අදහසක්.  එහි ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පෙන්වා දුන්නේ මුදල් ඇමතිවරයාගේ කතාවත් සමග ගුරුවරු සියලු දෙනා උසස් පෙළට ඉගැන්වීමට යෑමට උත්සහ කරනු ඇති බවයි. මෙම යෝජනාව හරහා ගුරුවරුන් තුළ එවැනි ආකල්පයක් ඇතිවිය හැකි බවත් සඳහන් කළා.

උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා අයවැයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද අදහස් පළ කළා. කුලියාපිටිය ප‍්‍රදේශයේ ඊයේ (12) පැවති උත්සවයක දී ඔහු කියා සිටියේ ශිෂ්‍ය ප‍්‍රජාව දැනුමෙන් බලගැන්වීමට නම් තාක්ෂණය සමග ඉදිරියට යා යුතු බවයි.

පොත් මල්ලක් වෙනුවට ටැබ් පරිගණයක් රැගෙන පාසල් යන ශිෂ්‍ය ප‍්‍රජාවක් ඇති කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව බව ද ඔහු පැවසුවා.