Friday, March 29, 2024

General line - 0115112241

“හයිබ්‍රිඩ් එහෙමමයි – සෙකන්ඩ් හෑන්ඩ් වැඩිවෙලා“ අය වැයෙන් වාහන මිලට වුණ දේ හරියටම දැනගන්න



මෙවර අය වැය එන්නටත් පෙර වාහන මිල ගණන් පිළිබඳව කසු කුසුවක්‌ සමාජයේ පැතිරෙන්නට පටන් ගත්තේය. ඇත්තටම මෙවර අයවැයෙන් වාහන මිල ගණන් අඩු වූවාද වැඩි වූවාද යන්න තවමත් නිවැරදිව හරි හැටි වටහා ගත නොහැක.

අය වැය යෝජනාවලියෙන් වාහන සම්බන්ධව ආනයන බදු ඉතා විශාල වශයෙන් වෙනස්‌ කිරීමකට ලක්‌වී නොමැති බව ක්‌ෂේත්‍රයේ තතු දන්නෝ පවසති. ඒ වෙනුවට මීට පෙර පනවන ලද බදු ප්‍රතිශතයන්හි පැවැති විෂමතාවන් ඉවත් කිරීමකට ලක්‌ කොට ඇති බව පෙනෙන්නට ඇත.

ඒ අනුව ප්‍රධාන වශයෙන්ම මෙරට තුළ මේ වන විට සංසරණය වන අධික වාහන තොගය තවදුරටත් වැඩිකරනවා වෙනුවට යම් සීමා කිරීමකට ලක්‌කොට තිබේ. ඊට අමතරව එය යම් තරමකට විධිමත් කොට ඇති බව පැවසුවහොත් එය වැරදි මතයක්‌ නොවනු ඇත.

එය එසේ සිදුකොට ඇත්තේ පැති ගණනාවක්‌ අධ්‍යයනය කරමින් බව පැහැදිලිය. මේ වනවිට මෙරට තුළ වැඩියෙන්ම ලියාපදිංචි කෙරෙනුයේ කුඩා කාර් රථ, ත්‍රීවීල් රථ වැනි කුඩා එන්ජින් ධාරිතාවක්‌ සහිත වාහනයන්ය.

පහළ මධ්‍යම පාන්තිකයන් හෝ මධ්‍යම පාන්තික පවුල් බොහෝ වේලාවට තමන්ට කුමන හෝ වාහනයක්‌ තිබිය යුතු බවට ආකල්පයක සිටීති. එවිට ඔවුන් කරනුයේ රුපියල් ලක්‍ෂ 10 සිට බොහෝ විට ලක්‍ෂ 20, 25 ආදිය පරාසයන් තුළ ඇති කුඩා කාර් රථයක්‌ හෝ අමතර ආදායමක්‌ ද සරිකර ගත හැකි ත්‍රිරෝද රථයක්‌ මිලට හෝ ලීසිං ක්‍රමයට මිලදී ගැනීමය.

එහෙත් මෙවර අයවැය යෝජනාවලියෙන් මුදල් ඇමැතිවරයා මේ තත්ත්වයට වැට බැඳ ඇති බව පෙනේ. එනම් එන්ජින් ධාරිතාව 1000 ට අඩු මරුටි, ඇල්ටෝ වැනි කුඩා මෝටර් රථ සඳහා පෙට්‍රල් ධාරිතාව මත රුපියල් 250 කින් ඒකක බද්ද ඉහළ දැමීමය. එමගින් සෘජුවම අලුත් මරුටි මෝටර් රථයක මිල රුපියල් ලක්‍ෂ 02 කින් ඉහළ යැම සිදුවේ.

ඒ සමගම දුප්පතාගේ හිතවතා ලෙස නම් දරා ඇති ත්‍රිරෝද රථය ද මෙම කාණ්‌ඩයටම අන්තර්ගත වන බැවින් ඒ මත ද පනවා ඇති රුපියල් 250 ඒකක බද්ද නිසා ත්‍රිරෝද රථයක මිලද රුපියල් 50,000 කින් ඉහළ යනු ඇත.

එක්‌ අතකින් මෙරටට සීමාවකින් තොරව ගෙන්වනු ලබන ඉන්දියානු වාහන සඳහා සීමාවක්‌ මෙමගින් පැනවේ. ඊට අමතරව මුදල් ඇමැතිවරයා සිය අයවැය කතාවේදී විස්‌තර කරන ලද ආකාරයට මෙරට මාර්ගවල වර්තමානය වන විට ත්‍රිරෝද රථ ලක්‍ෂ 13 ක්‌ පමණ ධාවනය කෙරේ. මෙමගින් ලක්‍ෂ 11 ක්‌ පමණ කුලී සේවාවෙහි නිරත වන අතර ආසන්න වශයෙන් පවුල් ලක්‍ෂ 10 ක්‌ පමණ සිය ජීවිකාව සරිකර ගනිති.

එහෙත් ත්‍රිරෝද රථ මගින් සිදුවන අනතුරු දෙස බැලූවිට එය සුළුපටු ප්‍රමාණයක්‌ නොවන්නේය. එසේත් නැතිනම් මාර්ගයන්හි අනතුරුවලට වැඩි වශයෙන් භාජනය වනු ලබන්නේ ත්‍රිරෝද රථයි.

මෙවර අයවැයේදී එම තත්ත්වය අවම කරවීම පිණිස මුදල් ඇමැතිවරයා ත්‍රිරෝදරථ වෙනුවට රෝද හතරේ ඉලෙක්ට්‍රික්‌ මෝටර් රථ හඳුන්වා දීම දිරිමත් කර තිබේ. ඒ ඉලෙක්ට්‍රික්‌ මෝටර් රථ හඳුන්වා දී තිබූ අගය මත බදු අඩු කිරීමය.

ඒ අනුව නිසාන් ලීෆ් වැනි කිලෝවොට්‌ 100 ට අඩු (ලීෆ් රථයක්‌ කිලෝවොට්‌ 70 කි.) මෝටර් රථයක බදු ප්‍රතිශත 50% ලෙස අඩු කිරීමෙන් එම මෝටර් රථයක මිල රුපියල් ලක්‍ෂ පහකින් හයකින් බදු අඩුවීමට නියමිතය. එම මෝටර් රථ සඳහා බද්ද තවමත් රුපියල් ලක්‍ෂ 19 ත් 20 ත් අතරේ වෙන බැවින් ඉදිරියේදී නිසාන් වර්ගයේ ලීෆ් රථයක මිල රුපියල් ලක්‍ෂ 35 ක්‌ පමණ මිල නියම කෙරෙනු ඇත.

මේ අතර ත්‍රිරෝද රථ පසුගිය කාලය පුරාවට ප්‍රවාහන මාධ්‍යයක්‌ ලෙස දියුණු වූ ආකාරයට ‘ඩිමෝ බට්‌ටා’ මෝටර් රථය ද සාමාන්‍ය ජනතාව අතර බෙහෙවින් ප්‍රචලිත විණි. එහෙත් එහි මිල ද මෙවර අයවැයට අනුව රුපියල් ලක්‍ෂ හතරකින් පහකින් පමණ මිල ඉහළ යැමට නියමිතය.

මේ ආකාරයට ඉන්දියන් වාහන මිල ඉහළ යන ආකාරයට සාපේක්‍ෂව මගී ප්‍රවාහනයට මෙන්ම භාණ්‌ඩ ප්‍රවාහනයට අදාළව බොහෝ විට ජපන් වාහන මත පනවා ඇති බදු ප්‍රතිශතයන් පහළ දැමීම හේතුවෙන් ද්විත්ව කාර්ය වෑන් රථ සඳහා පනවා තිබූ 150% ක්‌ වූ බද්ද 85% දක්‌වා අඩුකර තිබේ. එහෙත් ඒ මත රුපියල් ලක්‍ෂ 45ක අවම බද්දක්‌ පනවා ඇත.

ඊට අමතරව ආසන 13 – 20 අතර මගී ප්‍රවාහන වෑන් රථ සඳහා බදු ප්‍රතිශත වෙනස්‌ කර නොමැති නමුත් රුපියල් ලක්‍ෂ 45 ක අවම බද්දක්‌ පනවා ඇත. මේ නිසා හයිඑස්‌ වර්ගයේ වෑන් රථයක මිල රුපියල් ලක්‍ෂ තුනකින් පමණ බදු වැඩි වී තිබේ.

මේ වන විට ජනප්‍රිය වී ඇති හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථ මිල ගණන් හි වෙනසක්‌ මෙවර අයවැය මගින් සිදු නොවීම විශේෂත්වයක්‌ වේ.

මීට අමතරව කෲ කැබ් වර්ගයේ වාහන සඳහා තිබූ තීරු බදු ප්‍රමාණය මෙවර අයවැයෙන් ලක්‍ෂ 70 සිට ලක්‍ෂ 35-40 අතර ප්‍රමාණයකට අඩුවී තිබේ. මේ නිසා රුපියල් ලක්‍ෂ 90 ක්‌ පමණ වූ එම වාහනයක්‌ රුපියල් ලක්‍ෂ 60 ක පමණ මිලක්‌ නියම වනු ඇත.

එම බදු අඩු කිරීම කෲ කැබ් මිලට ගැනීමේ කැමැත්තකින් පසුවූ පාරිභෝගිකයන්ට නම් සුබදායක ආරංචියකි. මන්ද යත් පෙර පැවැති බදු ප්‍රතිශතයන් නිසා කෲ කැබ් රථයක්‌ ලංකාවට ගෙන ඒමට පවා නොහැකි තත්ත්වයක පැවතිණි. මේ අතර ඩබල් කැබ් වර්ගයේ වාහන වල මිල ගණන් වෙනසකට ලක්‌වී නොමැත.

මෙවර සිදුවූ බදු ප්‍රතිශත වෙනස්‌වීම් මත එන්ජින් ධාරිතාව වශයෙන් සාරාංශගත කොට බැලුව හොත් 1000 සී සී වර්ගය ලක්‍ෂ 07 කින් ඉහළ යන විට 1000 සිට 1800 සී සී වාහන මිල ගණන් වෙනස්‌ නොවේ. 1800-2000 සී සී ආදී එන්ජින් ධාරිතාව ඇති බී. එම්. ඩබ්ලිව්. එක්‌ස්‌ හයිව් වර්ගයේ මෝටර් රථයක්‌ ලක්‍ෂ නවයකින් ඉහළ යන විට නිසාන් එක්‌ස්‌ ටේ්‍රල් සහ මිට්‌ෂුබිෂි අවුට්‌ ලෑන්ඩර් වර්ගයේ මෝටර් රථ නවලක්‍ෂ අනූපන්දහසකින් මිල ඉහළ ගොස්‌ ඇත.

මේ අතර වත්මන් යහපාලන රජය පසුගිය අයවැයේදී මෝටර් රථ එන්ජින් ධාරිතාව මත පදනම්ව ඒකක අනුපාත ක්‍රමයක්‌ යටතේ නිෂ්පාදන බදු ක්‍රමයක්‌ හඳුන්වා දෙනු ලැබීය. මෙවර ද එම ක්‍රමයම තවදුරටත් ඉදිරියට ගෙන යැමක්‌ කර තිබේ.

ඒ අනුව ඒ පරිද්දෙන් එන්ජින් ධාරිතාව මත පදනම්ව නිෂ්පාදන බදු අය කිරීම යතුරුපැදි සඳහා ද ඇතුළු වන බවට මුදල් ඇමැතිවරයා මෙවර අයවැය යෝජනාවලියෙන් යෝජනා කර තිබේ. ඒ අනුව තාරුණ්‍යයේ සිහිනය වන යතුරුපැදි මිල ගණන් ද ඉහළ යැමට නියමිතය. එහෙත් ඒ සම්බන්ධ මිල ගණන් පිළිබඳව රජය තවමත් නිසි විස්‌තර සපයා නොමැති බැවින් යතුරුපැදියක මිල ගණන් වැඩි වන ආකාරය පිළිබඳ කිසිවක්‌ කීමට නොහැකි තත්ත්වයක්‌ පවතී.

මේ අතර මෙරටට යම් තරමකට හොඳ වාහන ගෙන්විය යුතු බවට රජය තීරණය කර තිබෙන බව අනුමාන කිරීමට කරුණු පවතී. ඉන් එකක්‌ ලෙස හැඳින්විය හැක්‌කේ අවුරුදු පහට වැඩි වාහන ප්‍රති අපනයනය කිරීම දිරිමත් කර ඇති බැවිනි.

ඒ අනුව එවැනි වාහන 20 ක්‌ යම් අයකු අපනයනය කළ හොත් (එහි වටිනාකම ඇමරිකන් ඩොලර් ලක්‍ෂ දෙකකට අඩු නොවිය යුතුයි.) ඩොලර් 50,000 කට අඩු රථයක්‌ මෙරටට ගෙන්වීමේදී 50% ක බදු මුදල් කපා දමනු ඇත. ඊට අමතරව මෙරටට ගෙන්වනු ලබන මෝටර් රථ සඳහා SRS එයාර් බෑග් සහ ආසන පටි අනිවාර්ය කිරීම ද එක්‌ කාරණයකි. ඊට අමතරව ඉන්ධන මගින් ධාවනය වන සියලු වාහන සඳහා කොමන් බද්දක්‌ ද රජය හඳුන්වා දී තිබේ.

කෙලෙස වෙතත් වෙළෙඳපොළ ආරංචි අනුව එන්ජින් 2000 සහ 3000 ආදී එන්ජින් ධාරිතාව සහිත වාහනවල තීරු බදු ප්‍රමාණය අඩු කිරීමකට ලක්‌ කොට තිබීම විශේෂත්වයකි. ඒ අනුව එම කාණ්‌ඩයට අයත් රේන්ඡ් රෝවර් වැනි මෝටර් රථයක බදු ලක්‍ෂ 30 කින් පමණ අඩු කර තිබීම විස්‌මය දනවන කාරණාවකි.

1800 සී සී – 2000 සී සී අතර වාහන සඳහා බදු ප්‍රමාණයන් ඉහළ දමද්දී ඉහත කාණ්‌ඩයට අයත් වාහන බදු ප්‍රතිශත පහළ දමා ඇත්තේ කා සඳහා දැයි අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ කෙසේ වෙතත් මෙම බදු වැඩි කිරීම් හමුවේ පාවිච්චි කළ වාහන (සෙකන්ඩ් හෑන්ඩ්) මිල ගණන් ද ඉහළ යනු ඇත. කෙසේ වෙතත් මිලියන හයකට වැඩි වාහන ප්‍රමාණයක්‌ රට තුළ සංසරණය වන බව අප අමතක නොකළ යුතු අතර එමගින් ඇතිවන විවිධ අහිතකර බලපෑම් රාශියක්‌ම පවතින බව ද අප අමතක කළ යුතු නොවේ.

පොදු ප්‍රවාහන සේවාව මෙන්ම ඉන්ධන දහනය නොවන වාහන කෙරෙහි වහ වහා යොමුවීම තවමත් දියුණු වන රටක්‌ ලෙස අපට ඉතා වැදගත් වනු ඇත. කෙසේ වෙතත් වැස්‌සට නොතෙමී ගමන් යැමට සිහින මැවූ අයගේ බලාපොරොත්තු තවදුරටත් ළඟ නොවන බව නම් කිව යුතුව තිබේ.

මෙවර අයවැය යෝජනාවලියෙන් වාහන මිලදී ගැනීම තව දුරටත් අධෛර්යමත් කර ඇති ආකාරය හොඳින්ම පැහැදිලි වේ.

ඒ ලීසිං (කල්බදු) පහසුකම් ලබා දීම තවදුරටත් සීමා කිරීමය. ඒ අනුව වාහනයේ වටිනාකම අනුව ලීසිං පහසුකම් ලබා දීම තවත් අඩුකර තිබේ. ඒ අනුව ත්‍රිරෝද රථයක මුළු වටිනාකමින් 25% ක්‌ පමණක්‌ ද කාර් සහ වෑන් සඳහා 50% ක්‌ ද ලොරි සහ බස්‌ රථ සඳහා 90% ක ලීසිං වටිනාකමක්‌ ද ලබා දීමට යෝජනා කර ඇත.

මීට පෙර ත්‍රිරෝද රථයක වටිනාකමින් 50% ක්‌ ද කාර්, වෑන් සඳහා 70% ක ලීසිං පහසුකම් ද ලබා දෙන ලදී

අකිත පෙරේරා

(උපුටාගැනීම දිවයින පුවත්පතෙනි)