Thursday, April 18, 2024

General line - 0115112241

ඇතැම් ඉන්ධනවල මිල වැඩි වෙලා




ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු කර නොමැති බව ඛනිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

ඒ, පෙට‍්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් දෙකකින් ඉහළ දමා ඇති බවට පළවී තිබූ මාධ්‍ය වාර්තාවලට ප‍්‍රතිචාර දක්වමින්. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගාල්ලේදී මාධ්‍ය අමතමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රජය සහ ඉන්දියානු තෙල් සමාගම අතර 2007 වසරේ ඇති වූ ගිවිසුමකට අනුව සාමාන්‍ය ඩීසල් සහ පෙට්‍රල්වලට අමතරව ඔවුන්ගේ යම් නිෂ්පාදනවල මිල වැඩි කිරීම සඳහා අවසර හිමිව ඇති බවයි. එකී අවසරයට අනුව අනෙකුත් නිෂ්පාදනවල මිල වැඩි කර ඇති බව දැනගන්නට ඇති බවත් පැවසුවා.

92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ද ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් ආදියද ඉන්දියානු තෙල් සමාගමට හෝ සිපෙට්කෝ ආයතනයේ කිසිඳු ඉන්ධන හළකට මිල ඉහළ දමා අලෙවි කළ නොහැකි බවත් සඳහන් කළා.

කෙසේවෙතත් ඉන්දියානු තෙල් සමාගම විසින් ජුලි මස පළමුවැනිදා සිට ඇතැම් ඉන්ධන නිෂ්පාදනවල මිල රුපියල් 02 කින් ඉහළ දමා ඇති බවත් ඒ අනුව xtra premium Euro3 සහ extra mile ඉන්ධනවල මිල වැඩි වී ඇති බවත් සඳහන් වනවා.