Tuesday, April 16, 2024

General line - 0115112241

තමන්ව එපා කියපු කාන්තාවන් දෙදෙනෙක්ව ට්‍රම්ප් අල්ලගනී




අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරීපත් වී සිටින ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය කැබිනට් මණ්ඩලයට කාන්තාවන් දෙදෙනෙකු නම් කර තිබෙනවා.

ඒ, දකුණු කැරොලිනා ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස දැනට කටයුතු කරන නිකී හේලි සහ බෙට්සි ඩිවෝස්.

නිකී හේලි නම් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝජිතවරිය ලෙසයි. මේ වන විට 44 වන වියේ පසුවන ඇය ඉන්දීය සික් ජාතික මව්පිය යුවළක දාව උපත ලබා තිබෙනවා.

දකුණු කැරොලිනා ප‍්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරයට පත්වූ පළමු කාන්තාව මෙන්ම එම ධුරයට පත්වූ පළමු සුළු ජාතිකයා ද ඇයයි.

බෙට්සි ඩිවෝස් අධ්‍යාපන ලේකම් ලෙස නම්කර තිබෙනවා. මේ වන විට ඇය පසුවන්නේ 58 වන වියේයි.

කෙසේ වෙතත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් කෙරුණු මෙම නම් කිරීම් සෙනට් සභාව විසින් අනුමත කළ යුතුව තිබෙනවා.

තවත් විශේෂත්වයක් වන්නේ නිකී හේලි සහ බෙට්සි ඩිවෝස් යන දෙදෙනාම මීට පෙර අවස්ථාවලදී ඩොනල්ඞ් ට‍්‍රම්ප් විවේචනය කළ අය වීමයි.

ජනාධිපතිවරණයේ පළමු වටයේදී නිකී හේලි පළමුව ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයෙකු වූ මාකෝ රූබියෝට ද, පසුව ටෙඞ් කෲස්ට ද සහය දැක්වුවා.

මුස්ලිම් සංක‍්‍රමණකයින් අමෙරිකාවට ඇතුළු වීම තහනම් කළ යුතු බවට ඩොනල්ඩ් ට‍්‍රම්ප් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ද නිකී හේලිට පැවතියේ ප‍්‍රබල විවේචනයක්.

වරක් ඇය ප‍්‍රකාශ කළේ මෙම යෝජනාව අමෙරිකාවට නොගැලපෙන හා ඩොනල්ඞ් ට‍්‍රම්ප් අමෙරිකානුවෙකු නොවන බවයි.  තමන් ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ රසිකයෙකු නොවන බවද නිකී හේලි ප‍්‍රකාශ කර තිබුණා.

බෙට්සි ඩිවෝස් වරක් ප‍්‍රකාශ කළේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් යනු අනවශ්‍ය දේට ද අතපොවන්නෙකු බවයි. නිකී හේලි මෙන්ම ඇය ද ජනාධිපතිවරණයේ පළමු වටයේදී ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයින්ට සහාය දැක්වුවා.

24trump1-sub-master675-v2 5835de9bc36188dc238b466e