Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට




සිම්බාබ්වේ තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ‍්‍රී ලංකාව ඊයේ (23) සමත් වුණා.

ඒ, පළමු වටයේ තරගයකදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක ලකුණකින් පරාජය කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 7ක් දැවී ලකුණු 330 ක් රැස්කර ගත්තා.

ඊට පිළිතුරු වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 50 දී රැස්කර ගැනීමට හැකිවූයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 329 ක් පමණයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් ලකුණු 94 බැගින් ලබාගත්තා. ධනංජය ද සිල්වා ලකුණු 58යි.

පන්දු යැවීමේදී ශ‍්‍රී ලාංකික සෑම පන්දු යවන්නෙකුම පාහේ ප‍්‍රතිවාදීන්ගේ පහරදීමකට ලක්වුවත් කඩුලු 2 බැගින් දවා ගැනීමට නුවන් කුලසේකර සහ සුරංග ලක්මාල් සමත් වුණා.

තරගය පැවැත්වුණේ සිම්බාබ්වේ බුලවායෝ හි කුයින්ස් ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩාංගණයේදීයි.

මෙම තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය හෙට (25) පැවැත්වෙනවා.

ඒ, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි. එම තරගය ජය ගන්නා කණ්ඩායම ශ‍්‍රී ලංකාව සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනු ඇති.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ කොදෙව්වන් ලකුණ 07 ක් ලබා ගෙන සිටිනවා. සිම්බාබ්වේ හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 04 ක්.

හෙට පැවැත්වෙන තරගය සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු 08 ක් දක්වා ඉහළ යනු ඇති.