Thursday, April 25, 2024

General line - 0115112241

ගැමුණු නැතිව පෞද්ගලික බස් වර්ජනයේ – ත්‍රීරෝද රථ දෙලොවක් අතර – පාසල් වෑන් වර්ජනයෙන් ඉවත් වෙයි




මාර්ග වැරදි සඳහා දඩ මුදල් වැඩි කිරීමට විරෝධය පල කරමින් පෞද්ගලික බස් සංගම් කිහිපයක් විසින් කැඳවන ලද වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනවා.

අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය කියා සිටියේ පිලිගත හැකි විසඳුමක් ලැඛෙන තෙක් මෙම වැඩවර්ජනය අත්නොහරින බවයි.

මාතර මගී ප්‍රවාහන සමාගමේ සභාපති අනුර හල්පගේ ද පැවසුවේ තමන් සමග ඇති සියලූ බස් රථ ද අද වැඩර්ජනයේ නිරත වන බවයි.

ඒ අනුව අධිවේගී මාර්ගයන්හි බස් ධාවනය ද අඩාල වනු ඇතැයි ඔහු පැවසුවා.

කෙසේ වෙතත් වැඩවර්ජනයක් සඳහා අවශ්‍යතාවක් නොමැති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බස් සංගම් කිහිපයක නියෝජිතයින් අතර ඊයේ පස්වරුවේ ද සාකච්ඡාවක් පැවැත්වුණා.

සිය ඉල්ලීම්වලට පිළිගත හැකි විසදුමක් එහි දී ලැබුණු බවයි ගැමුණු විජේරත්න වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ත්‍රීරෝද රථ සංගම් සමහරක් ද අද වැඩවර්ජනයක නිරත වනවා. ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සමිතියේ ලේකම් රෝහණ පෙරේරා කියා සිටියේ පෙරවරුවේ උද්ඝෝෂණ රථ පෙලපාලියක් ද සංවිධාන කර ඇති බවයි.

කෙසේ වෙතත් ඇතැම් ත්‍රීරෝද රථ සංගම් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව නැහැ.

පාසල් සේවා වෑන් සහ බස් රථ ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත වන බව මීට පෙර ප්‍රකාශ වී තිබුණා.

එහෙත් කිසිදු පාසල් සේවා වෑන් රථයක් හෝ බස් රථයක් වැඩ වර්ජනයට එක් නොවන බවයි සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා කියා සිටියේ.

මේ අතර මගීන්ට අපහසුතාවක් ඇති නොවන පරිදි පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.