Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් රජයේ ආදායමට බලපෑමක් නෑ




වැට් හා එන්.බී.ටී. බදු සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත මෙම මාසය අවසන් වීමට පෙර සම්මත කරගන්නා බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ කෙටුම්පත දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවයි. ලබන 23 වෙනිදා එහි දෙවනවර කියවීම සිදුකෙරෙනවා.

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් තිබෙන බැවින් එහිදී මෙම කෙටුම්පත සම්මත කරගැනීමට ද හැකිවනු ඇති බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එවිට අදාළ බදු සංශෝධනය මුලින් සඳහන් කළ පරිදිම මැයි මස 2 වෙනිදා සිට බලාත්මක වන බවද ඒ අනුව මෙම බදු සංශෝධනය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද පැනවූ අතුරු තහනම් නියෝගයෙන් රජයේ ආදායමට කිසිදු බලපෑමක් ඇති නොවන බවද අග‍්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටියා.

වැට් හා එන්.බී.ටී. බදු සංශෝධනය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) පැනවූ අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ද ප‍්‍රතිචාර දැක්වූවා.

මාධ්‍ය හමුවක් කැඳවමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කරන තෙක් සංශෝධිත වැට් බද්ද අයකර ගැනීම අද සිට අත්හිටුවන බවයි.

කෙසේ වෙතත් අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත වීමෙන් පසු මෙම කාලසීමාව සඳහා ද වැට් බද්ද යළි අයකරගත හැකි බව ඔහු වැඩිදුරටත් පැවසුවා.