Thursday, April 25, 2024

General line - 0115112241

වර්ජනය අවසන් වුවත් රට පුරා අදත් බස් හිඟයක් – වර්ජකයින් අත්අඩංගුවට ගන්නැයි ගැමුණු කියයි




පෞද්ගලික බස් සංගම් කිහිපයක් විසින් කැඳවන ලද වැඩවර්ජනය අවසන් කෙරුණත් ප‍්‍රදේශ බොහෝමයක තවමත් ධාවනය කෙරෙන්නේ අඩු බස් සංඛ්‍යාවක්.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය කියා සිටියේ තමන්ට ලැබී ඇති වාර්තාවන්ට අනුව අද (03) ධාවනයේ යෙදී සිටින්නේ මුළු බස් සංඛ්‍යාවෙන් සියයට 40 ක් හෝ 50 ක් පමණ බවයි.

මේ අතර ඊයේ සිදු කෙරුණු වැඩවර්ජනය කුමන්ත‍්‍රණයක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ඉන් දිනාගත් අලුත් යමක් නොමැති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ. මෙම වැඩවර්ජනයට නායකත්වය ලබාදුන් අය අත්අඩංගුවට ගත යුතු බවද ඔහු පැවසුවා.

පෞද්ගලික බස් සංගම් කිහිපයක් ඊයේ වැඩවර්ජනයක් කැඳවා තිබුණේ මාර්ග වැරදි කිහිපයක් සඳහා වූ දඩය රුපියල් විසිපන් දහසක් දක්වා වැඩි කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට විරෝධය පල කරමින්. ඔවුන් එම වැඩවර්ජනය අවසන් කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවකින් පසුවයි.

පෞද්ගලික බස් සංගම් කිහිපයක් විසින් කැඳවා තිබූ වැඩවර්ජනයට සහය පල කරමින් ත‍්‍රීරෝද රථකරුවන් ද ප‍්‍රදේශ කිහිපයක දී ඊයේ (02) උද්ඝෝෂණවල නිරත වුණා. ඇතැම් ස්ථානවල දී උද්ඝෝෂකයින් හැසිරුණේ කලහකාරීවයි.

මීගමුව ප‍්‍රදේශයේ දී ත‍්‍රීරෝද රථකරුවන් පිරිසක් දුම්රිය මාර්ගය ද හරස් කරමින් උද්ඝෝෂණයේ යෙදුණා.

ත‍්‍රීරෝද රථ රියදුරන් 18 දෙනෙකු සහ බස් රථ රියදුරෙකු එහි දී අත්අඩංගුවට ගැණුනු අතර ලබන 09 වන දා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය අද (03) නියෝග කළේ.