Thursday, April 25, 2024

General line - 0115112241

අලුත් රේගු පනතින් කුඩු ජාවාරමටත් සහන ලැබේදැයි ජවිපෙ සැකයෙන්




වත්මන් ආණ්ඩුවේ දූෂණ මර්දන වැඩසටහන සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ නැවත සැක පළ කරනවා.

එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඒ පිළිබඳව මෙලෙස අදහස් දැක්වූවා.

“මේ ආණ්ඩුව දූෂණ වංචා සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග අරගනිමින් ඉන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකින්. එහෙම නැතුව ඇත්තටම දූෂණ වංචා හෙළිදරව් කරලා අදාළ අයට දඬුවම් දීමේ ක්‍රියාවලියක් නෙමෙයි වෙන්නේ.

මේ ආණ්ඩුව එෆ්.සී.අයි.ඩී නඩු ගොනු කරන විදිහට පේන්නේ පහුගිය රාජපක්ෂ පාලනයේ වැරදි කරපු අයට අදාළව නඩු අහන්න වෙන්නෙත් සමහරවිට මේ ආණ්ඩුකාලේ ඉවරවුණාට පසුවයි. ඒක තමයි මේකේ තිබෙන අඩුව. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඒක ස්වාධීනව කරන්න ඉඩ කඩ තිබෙනවනම් මේ ප්‍රශ්ණ මෙහෙම එන්නේ නැහැ”.

යෝජිත නව රේගු පනත සම්බන්ධයෙන් ද මෙහිදී විවේචන ඉදිරිපත් වුණා.මෙමගින් මත්කුඩු ජාවාරම්කරුවන්ට ද සහන සැලසේ දැයි සැකයක් පවතින බවයි සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ.

ආනයන අපනයන ක‍්‍රියාවලියේදී බදු වංචා කිරීමට ද යෝජිත නව රේගු පනතෙන් වැඩි ඉඩක් සැලසෙනු ඇත්දැයි මෙහිදී සැක පළ වුණා.