Thursday, March 28, 2024

General line - 0115112241

සප්තකන්‍යා කඳුවැටියේ ඉහළ රක්‍ෂිතයේ දුමක් (UPDATE)




සප්තකන්‍යා ඉහල කඳුවැටියේ සැරිසරන කුරු අලින් නැරඹිමට ගොස් රක්‍ෂිතය තුළ අතරමං වූවන් සොයා යුදහමුදා විශේෂ කාර්යබලකාය හා නල්ලතන්නිය පොලිසිය මේ වන විට යළිත් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්‍ෂපාන වතුයායේ වතු අධිකාරිවරයාගේ 24 හැවිරිදි පුත‍්‍රයා සහ ඔහුගේ මිතුරෙකු, කාන්තාවන් දෙදෙනෙකු හා වතුකම්කරුවෙකු මෙසේ අතරමංව සිටිනවා.

දින දෙකකට ආහාර පාන හා ඇදුම් රැගෙන ඊයේ (12) දහවල් ලක්‍ෂපාන හැමිල්ටන් වතුයායට ඇතුළු වු මෙම පිරිස මස්කෙළිය කැණියොන් ජලාශයට ඉහලින් සප්තකන්‍යා කන්දේ අතරමං වීමෙන් පසු  119 පොලිස් හදිසි ඇමතුම් අංකයට අද (13) පස්වරුවේ දැනුම් දී තිබුණා.

මීට ඉහත අවස්ථා කිහිපයකදිද මෙම තරුණයා ඔහුගේ මිතුරන් සහ පවුලේ උදවිය සමග අලි බැලීමට මෙම රක්‍ෂිතය තුළට ගොස් ඇති බවට තොරතුරු ලැබි ඇති බවයි නල්ලතන්නිය පොලිසිය පැවසුවේ.

රක්‍ෂිතය තුළ අතරමං වී සිටින වතුඅධිකාරිවරයාගේ පුත‍්‍රයා මෙම මෙහෙයුමට සම්බන්ධ වී සිටින පොලිස් නිළධාරින් සමග අවස්ථා කිහිපයකදීම දුරකථනයෙන් සම්බන්ධ වී තමන් සිටින රක්‍ෂිතය තුළට ජල විදුලි බලාගාරයකට ජලය ගලා බසින විශාල නල පද්ධතියක් පෙනෙන බවත් තමන් සිටින ස්ථානය හඳුනා ගැනීම සඳහා රක්‍ෂිතය තුළ ගිණි මැලයක් ගසන බවත් පොලිසියට දැනුම් දී තිබෙනවා.

එම තරුණයා පොලිසියට පැවසු ජලය ගලා බසින නල පද්ධතියට ඉදිරියෙන් වු සප්තකන්‍යා කඳුවැටියේ ඉහළ රක්‍ෂිතය තුළ ගිණි තැබිමක් හේතුවෙන් දුමාරයක් පිටවන ආකාරය දැකිය හැකි බවත් අප වාර්තාකරු පැවසුවා.

මෙම රක්‍ෂිතය තුළ සැරිසරන කුරු අලියෙකු මීට වසර දෙකකට ප‍්‍රථම ලක්‍ෂපාන වතුයායට අයත් හැමිල්ටන් රක්‍ෂිතය තුළ මියගොස් සිටි බවත් අප වාර්තාකරු පෙන්වා දෙනවා.

unnamed-1 unnamed-2 unnamed-3 unnamed-4 unnamed


කැලේ ගිය 05 ක් අතරමං

(Dec 13, 2016 @ 15:23)

ලක්ෂපාන හැමිල්ටන් රක්ෂිතය නැරඹීමට ගොස් අතරමංව සිටින පුද්ගලයින් 5 දෙනෙකු සොයා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

රක්ෂිතය නැරඹීමට ගිය කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව සිටින්නේ ඊයේ (12) පස්වරුවේ සිටයි.

පොලිස් හදිසි ඇමතුම් අංක 119යට අතුරුදන්ව සිටින අයෙකුගෙන් ඇමතුමක් ලැබී ඇති බවයි නල්ලතන්නිය පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත් ඔවුන්ගේ දුරකථනවල සංඥා නොමැති වීම නිසා ඔවුන් යළි සම්බන්ධ කරගැනීම අපහසු වී තිබෙනවා. මේ වන විට යුද හමුදා භට පිරිසකගේ ද සහාය ඇතිව අතුරුදන්වූවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි නල්ලතන්නිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස අතරමංව සිටින්නේ ලක්ෂපාන වතුයායේ වතු අධිකාරීවරයාගේ පුත‍්‍රයා ඇතුලූ පිරිසක් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.