Thursday, April 25, 2024

General line - 0115112241

නාමල්ගෙන් රැඳවියන්ට ‘යෝග’ අභ්‍යාස




රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර රැඳවියන්ට යෝග අභ්‍යාස උගන්වමින් සතුටින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඒ, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට අද (12) පැමිණි අවස්ථාවේදීයි. ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන යන මන්ත‍්‍රීවරුන් හා රෝහිත රාජපක්ෂ මහතා එම අවස්ථාවේදී මාධ්‍යයට අදහස් පළ කර සිටියා.

රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කළේ බන්ධනාගාරය දැන් රාජපක්ෂ පවුලේ දෙවැනි ගෙදර වී ඇති බවයි. එක් සහෝදරයෙක් වෙනුවෙන් මීට පෙරත් අවස්ථා ගණනාවකදී මෙහි පැමිණි බවත් සඳහන් කළා. යළිත් කොපමණ වතාවක් පැමිණෙන්නට සිදු වේ දැයි නොදන්නා බවත් පැවසුවා.

මේ අතර අද කැඳවා තිබූ ප‍්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී ද නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා.  ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවට සහභාගී වූ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ කොළ අලි සහ රතු අලි එක්වී දැවැන්ත මර්දනයක් සිදු කරමින් ඇති බවයි. අනුර කුමාර දිසානායක මහතා සභාපති වී සිටින දූෂණ මර්දන කාර්යාංශයට පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ වසන්ත සමරසිංහ මහතා බවත් පැවසුවා.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී, හර්ෂණ රාජකරුණා මන්ත‍්‍රීවරයා, නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පැවසුවේ අද අධිකරණය නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවයි. කෙසේවෙතත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමා පෞද්ගලිකව සතුටු නොවන බවත් පැවසුවා.