Friday, April 19, 2024

General line - 0115112241

ලංකා මුහුද ආක්‍රමණය කළ ඉන්දීය ධීවර යාත්‍රා සැළකියයුතු ලෙස අඩුවෙයි




දකුණු ඉන්දීය ධීවරයින් විසින් නීති විරෝධීව මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදීම සියයට පනහකින් පමණ අඩු වී ඇතැයි ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ, නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකායේ දත්ත පදනම් කර ගනිමින්.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සතියකට දින 03 ක් අවම වශයෙන් ඉන්දීය ධීවර යාත‍්‍රා මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදෙන බවයි.

නීති විරෝධීව ඇතුළු වන බවට ගණන් බලා ඇති ඉන්දීය ධීවර යාත‍්‍රා සංඛ්‍යාව පන්දහසකට අධිකයි. ඒ ඔස්සේ මෙරට මුහුදු සීමාවෙන් ඉන්දීය ධීවරයින් නීති විරෝධීව අල්ලා ගන්නා මසුන් ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් හයදහසක්. එමගින් වාර්ෂිකව ශ‍්‍රී ලංකාවට අහිමි වන මුදල රුපියල් මිලියන නවදහසකට අධිකයි.

කෙසේ වෙතත් මේ වනවිට ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම අඩු වීමට නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය සිදු කරන අත්අඩංගුවට ගැනීම් හේතු වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඉකුත් කාලසීමාවේදී තාමිල්නාඩුවේ හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම් ඉන්දීය ධීවරයින්ගේ යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීම සාදාරණීකරණය කරමින් පෙනී සිටිනු දක්නට ලැබුණා. එහෙත් ඇයගේ අභාවයෙන් පසු මෙම දත්ත වාර්තා සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය මෙතෙක් කිසිඳු වාර්තාවක් දක්වා තිබුණේ නැහැ.