Friday, March 29, 2024

General line - 0115112241

වී අස්වැන්නත් අවදානමේ – සහල් හිඟයක් ගැන යළිත් කතාබහක්




පවතින වියළි කාලගුණය හේතුවෙන් මාස් කන්නයේ වී අස්වැන්න අපේ්ක්ෂිත පරිදි නොලැබුණහොත් ඉදිරියේ දී ද සහල් හිගයක් ඇති වීමේ අවදානමක් මතුවිය හැකි බවටයි පැවසෙන්නේ.

ඒ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්. බී. දිසානායක සඳහන් කළේ ඉදිරියේදී සහල් හිඟයක් ඇතිවන තත්ත්වයක් පිළිබඳව වී අලෙවි මණ්ඩලයද අනාවරණය කර ගෙන ඇති බවයි. ඒ අනුව රජය සතුව ඇති අතිරේක වී තොග තවදුරටත් වැඩි කර ගැනීමේ අවශ්‍යතාවක්ද ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් මේ වන විට වෙළඳපොලේ ඇති වී තිබෙන සහල් හිඟය හේතුවෙන් වී අලෙවි මණ්ඩලය සතුව කන්න කිහිපයකදී ලබා ගත් වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ නමදාහක පමණ වී තොගයකින් කොටසක් මුදා හැරීමට තීරණය කළා. ඉන් මෙට්‍රික් ටොන් පනස්දහසක පමණ ප්‍රමාණයක් තබාගෙන ඉතිරිය වෙළඳපොලට මුදා හැරීමටයි සැළසුම් කර තිබෙන්නේ.

මේ අතර වව්නියාව දිස්ත‍්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර නවදහසක් පමණ විනාශ වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, මහ කන්නයේ දී ප‍්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම හේතුවෙන්.

වව්නියාව දිස්ත‍්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ මේ වන විට මාස් කන්නය ආරම්භ වී තිබුණත් ඊට ලැබිය යුතු මෝසම් වැසි නොලැබීම හේතුවෙන් වගා කිරීමට යෝජිතව තිබූ කුඹුරු අක්කර දහඅටදහසෙන් දැනට වගා කර ඇත්තේ නමදහසක් පමණක් බවයි. මේ වන විට ජලාශවලද ජල මට්ටම පහළ ගොස් ඇති බැවින් දැනට වගා කර ඇති කුඹුරු ප්‍රමාණයද ආරක්ෂා කර ගැනීම අභියෝගයක් බවත් පෙන්වා දුන්නා.

වර්ෂාව නොමැති වීම හේතුවෙන් වෙනත් බෝගවලට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි දිස්ත‍්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේ.