Friday, April 26, 2024

General line - 0115112241

රෝගී තරුණයෙකුට මාලිංග දුන් මුදල් ආධාරයක් වංචා කළ අයෙකු ගැන හෙළිදරව්වක්




ස්නායු ආබාධයකින් පෙලෙන තරුණයෙකුට ක‍්‍රිකට් ක‍්‍රීඩක ලසිත් මාලිංග විසින් ලබාදුන් මුදල් ආධාරයකින් කොටසක් කිසියම් පුද්ගලයෙකු තර්ජනය කර බලහත්කාරයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.

වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළි වුණේ අදාළ රෝගී තරුණයා මාදම්පේ ගලගොඩ ප‍්‍රදේශයේ පදිංචි අයෙකු බවයි. ඔහුගේ රෝගී තත්ත්වය සහ ඊට අදාළ ප‍්‍රතිකාර ලබාගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවිවල තොරතුරු පළ වුණා.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ක‍්‍රිකට් ක‍්‍රීඩක ලසිත් මාලිංග ඔහුගේ නිවසට ගොස් අදාළ තරුණයාට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී තිබෙනවා.

ලසිත් මාලිංග අදාළ මුදල ලබා දී ඇත්තේ රෝගී තරුණයාගේ මවටයි. කෙසේ වෙතත් අදාළ සිද්ධිය සමාජ ජාල වෙබ් අඩවිවලට වාර්තා කළ පුද්ගලයා එම කටයුතු සම්බන්ධීකරණය කිරීම සම්බන්ධයෙන් බව පවසමින් රුපියල් හැට දහසක මුදලක් තරුණයාගේ මවගෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම මසකට තවත් රුපියල් දසදහස බැගින් ද තමන්ට ලබාදෙන ලෙස ඔහු තර්ජනය කළ බවයි රෝගී තරුණයාගේ මව නෙත් නිවුස් වෙත කියා සිටියේ. එම හඬපටය පහතින් ඇසිය හැකියි.

රෝගී තරුණයාගේ මවට තර්ජනය කර ඇති මෙම පුද්ගලයා ගාල්ල රත්ගම ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙසද කටයුතු කළ රොෂාන් පියතිලක නමැත්තෙක්.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ක‍්‍රිකට් ක‍්‍රීඩක ලසිත් මාලිංගගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ අදාළ සිද්ධිය තමන්ට ද වාර්තා වූ බවයි. තමන් ඒ පිළිබඳ දැඩි ලෙස සිත්තැවුලට පත්වූ බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් තවදුරටත් අදාළ තරුණයාට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා උපකාර කිරීමට සූදානම් බවද ලසිත් මාලිංග ප‍්‍රකාශ කළා.