Saturday, April 20, 2024

General line - 0115112241

සුපිරි ඇමති ඌවේ දී පරාදයි – අගමැති සාකච්ඡාවක් කැඳවයි




සුපිරි අමාත්‍යවරයෙකු බිහි කෙරෙන බව කියන සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත පිළිබඳ පළාත් සභාවල මහ ඇමතිවරුන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම කියා සිටියා.

සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත මගින් කිසිවෙකුට සුපිරි බලතල ලබාදෙන්නේ හෝ පළාත් සභාවල බලය පවරා ගන්නේ හෝ නොමැති බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

එහෙත් ඒ පිළිබඳ ප්‍රමාණවත් දැනුවත්වීමක් මහ ඇමතිවරුන්ට නොමැති බව ද, අග්‍රාමාත්‍යවරයා විසින් අද පැවැත්වෙන සාකච්ඡාව කැඳවා ඇත්තේ ඒ අනුව බව ද අමාත්‍යවරයා පැවසුවා.

ඉකුත් දා පැවති මාධ්‍ය හමුවක දී බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමි පළාත් සභා 07ම සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පතට විරුද්ධ බවයි.

ප්‍රතිපත්තිමය වශයෙන් ඊට එකඟ විය නොහැකි බව මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක ද කියා සිටියා.

මෙම පනත් කෙටුම්පත මගින් පළාත් සභා සතු බලය අඩුවන බවයි ඔවුන්ගේ අදහස වී තිඛෙන්නේ.

මේ අතර සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත, ඌව පළාත් සභාවේ දී ඊයේ පරාජයට පත් වුණා. ඊට විපක්ෂව ඡන්ද 13 ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ ඡන්ද 9 ක් පමණයි.