Friday, April 19, 2024

General line - 0115112241

මහ බැංකු වංචාව වහන්න සුපිරි ඇමති ඇවිත්!




ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය යට ගැසීමට ඇතැම් පිරිසක් උත්සහ කරන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවය සහ පොදුජන පෙරමුණ නැවත චෝදනා කරනවා.

අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවසුවේ සුපිරි ඇමති පිළිබඳ පනත ජනතාව අතර වාද විවාදයට ලක් කෙරෙන්නේත් මෙම වංචාව යට ගැසීමේ අරමුණින් විය හැකි බවයි.

මේ අතර මෙම බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු කෝප් වාර්තාව ලබන වසරේ පළමු සභාවාරයේදීම විවාදයට ගන්නැයි කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කථානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිඛෙනවා.

පාර්ලිමේන්තුව සතු ලේඛනයක් වන එම වාර්තාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් නීතිපතිවරයාගෙන් මතය විමසීම කථානායකවරයාගේ බලය අග්‍රාමාත්‍යවරයා විසින් පවරා ගැනීමක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

මීට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය කාර්යාලය ද ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා. තමන් යටතේ ඇති ආයතනවල නිලධාරීන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා නීතිපතිවරයාගේ මතය විමසීම සාමාන්‍ය කටයුත්තක් බවයි එහි දැක්වුණේ.

අග්‍රාමාත්‍යවරයා අදාළ කෝප් වාර්තාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසා ඇත්තේ ද ඒ අනුව බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා.

පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කිරීමට අග්‍රාමාත්‍යවරයා කිසිසේත් අදහස් නොකළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේ.