Thursday, April 25, 2024

General line - 0115112241

සුපිරි ඇමති නැගෙනහිර පළාත් සභාවටත්




සුපිරි ඇමතිවරයෙකු ඇති කරන බව කියන සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත නැගෙනහිර පළාත් සභාව වෙත අද ඉදිරිපත් කෙරුණා. එහෙත් නිසි අධ්‍යයනයකින් තොරව ඒ පිළිබඳ මතයක් ප්‍රකාශ කළ නොහැකි බවයි මහ ඇමති හාෆීස් නසීර් අහමඩ් කියා සිටියේ.

මෙම කෙටුම්පත අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වන දේවගේ වීරසිංහ ද කියා සිටියා. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයම නියෝජනය කරන විපක්ෂ නායක එම්. එස්. උදුමා ලෙබ්බේ පැවසුවේ මෙම කෙටුම්පත මගින් පළාත් සභාවල බලය සීමා වන බවයි.

මේ සම්බන්ධයෙන් කිසියම් මතයක් ප්‍රකාශ කිරීමට තවත් කාලය අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ද පැවසුවා. සියලූ කරුණු සැලකිල්ලට ගත් නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති කියා සිටියේ සභාව ලබන ජනවාරී මස 24 වනදා දක්වා කල් තබන බවයි.

මේ අතර සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ඊයේ ඌව පළාත් සභාවට ඉදිරිපත් කෙරුණු අතර එහි දී එය පරාජය වුණා. බස්නාහිර මහ ඇමති ඉසුර දේවපි්‍රය සහ මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක ද ප්‍රකාශ කර ඇත්තේ මෙම කෙටුම්පතට එකඟ විය නොහැකි බවයි. මෙම කෙටුම්පත මගින් පළාත් සභාවල බලය සීමවන බව ඔවුන්ගේ ද අදහස වී තිඛෙනවා.

කෙසේ වෙතත් ආණ්ඩුව පැවසුවේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමේ අපේක්ෂාවෙන් සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවයි. එමගින් පළාත් සභාවල බලය සීමා කිරීමක් හෝ ඇතැම් අය චෝදනා කරන පරිදි සුපිරි ඇමතිවරයෙකු ඇති කිරීමක් සිදු නොවන බව ද ආණ්ඩුව පැවසුවා. මේ සම්බන්ධයෙන් මහ ඇමතිවරුන් දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාකච්ඡාවක් ද කැඳවා ඇති අතර එම සාකච්ඡාව අද පැවැත්වීමට නියමිතයි.