Thursday, March 28, 2024

General line - 0115112241

ව්‍යවස්ථා සංශෝධනය ගැන මහ නා හිමිවරුන්ගෙන් ආණ්ඩුවට යෝජනා මාලාවක් (VIDEO)




නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ දී සලකා බැලිය යුතු වැදගත් කරුණු කිහිපයක් ඇතුළත් යෝජනාවලියක් අස්ගිරි සහ මල්වතු මහනායක හිමිවරුන් විසින් අද (24) රජයට භාරදෙනු ලැබුවා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීයි.

අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් රජයට භාරදුන් යෝජනාවලිය කරුණු 05 කින් සමන්විතයි. එහි පළමු කරුණ වන්නේ ශ‍්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතුයි යන්නයි.

පළාත් සභා බලතල සහ නීති සම්පාදනය, අධිකරණ පද්ධතිය, බුදු දහමට ප‍්‍රමුඛස්ථානය ලබාදීම සහ ජාතික ප‍්‍රතිපත්ති සම්පාදනය එම ලිපියේ ඇතුළත්. මහ නා හිමියන් විසින් රජයට ලබාදුන් යෝජනාවලියේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අදහස් දැක්වූවා.

මේ අතර ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහ නා හිමියන් ද අග‍්‍රාමාත්‍යවරයා වෙත යෝජනාවලියක් භාරදෙනු ලැබුවා.

බුදු දහමට ප‍්‍රමුඛස්ථානය ලබාදීම සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් රජය සිය අවධානය යොමු කළ යුතුයි. ශ‍්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරී බව, එක්සත් බව හා දේශපූර්ණත්වය ආරක්ෂා කිරීම ද රජයේ වගකීමක් වනවා.

උතුරු නැගෙනහිර පළාත්වල වන රක්ෂිත සහ පුරාවිද්‍යාත්මක ස්ථාන මෙන්ම බෞද්ධ සිද්ධස්ථාන ද විනාශ වෙමින් ඇති බවයි මහ නා හිමියන් අගමැතිවරයා වෙත ලබාදුන් ලිපියේ දැක්වෙන්නේ. ඇතැම් බෞද්ධ සිද්ධස්ථානවල ජනපද පිහිටුවීමේ ක‍්‍රියාවලියක් ද ආරම්භ වී තිබෙනවා.

මෙම කරුණු සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතුයි. නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය ව්‍යුහයට, ජාතික ආගමික සංහිදියාවට සහ සහජීවනයට හානිකර පරිදි කටයුතු සිදු වන්නේ නම් ඒවා කිසිසේත් අනුමත නොකරන බවයි මහ නා හිමියන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ ජනතාවට නිදහසේ සිය ආගමික කටයුතු සිදු කිරීමට අවශ්‍ය ඉඩ ප‍්‍රස්ථාව සලසා දීමට ද ආණ්ඩුව මැදිහත් විය යුතුයි. මෙම කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට වගකිව යුතු රජයක් ලෙස දුරදක්නා නුවණින් හා මනා සැලකිල්ලෙන් යුතුව රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව මල්වතු පාර්ශවයේ මහ නා හිමියන් රජයට ලබාදුන් යෝජනාවලියේ වැඩිදුරටත් දැක්වෙනවා.

මහ නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් දැක්වූවා.

01-www-nethnews-lk001 01-www-nethnews-lk002 01-www-nethnews-lk003 01-www-nethnews-lk004