Friday, April 26, 2024

General line - 0115112241

විශ්වවිද්‍යාල සේවක සංගම් ඉල්ලීම් රැසක් දිනයි




උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ජාතික සේවක සංගමයේ නියෝජිතයින් අතර අද (13) පැවති සාකච්ඡාවකදී ප‍්‍රතිපත්තිමය එකඟතා කිහිපයක් ඇති වී තිබෙනවා.

රාජ්‍ය සේවකයින් සඳහා වැඩි කළ රුපියල් 2500 ක මාසික වැටුප විශ්වවිද්‍යාලවලට ද ලබාදීමේ චක‍්‍රලේඛය කඩිනමින් නිකුත් කිරීම එම එක් එකඟතාවක්. විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලය විශ‍්‍රාම ගන්නා වයස් සීමාව අවුරුදු 57 සිට අවුරුදු 60 දක්වා දීර්ඝ කරමින් විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමට ද ප‍්‍රතිපත්තිමය එකඟතාවක් ඇති වී තිබෙනවා.

විශ්වවිද්‍යාලවල දීර්ඝ කාලයක් සේවය කළ අයට ඇගයීම් තිළිණ ප‍්‍රදානය, විශ්වවිද්‍යාලවල සේවය කර දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සාධාරණය ඉටුකිරීම සහ විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලයට නිවාස යෝජනා ක‍්‍රමයක් ඇති කිරීම එළැඹ ඇති තවත් එකඟතා කිහිපයක්.

විශේෂ දීමනා ලෙස විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලයට ලබාදෙන සියයට 20 ක දීමනාව ද සේවක අර්ථසාධක අරමුදලට දායකත්වයක් ලබාදෙන ලෙස ගැලපීම හා දැනට අධ්‍යයන කාර්යමණ්ඩලයට ලබාදෙන මාසික හිලව් දීමනාව අනධ්‍යයන කාර්යමණ්ඩලයට ද ලබාදීම මෙම සාකච්ඡාවේදී එළැඹි තවත් ප‍්‍රතිපත්තිමය එකඟතාවක් වනවා.