Tuesday, April 23, 2024

General line - 0115112241

වැට් නිසා ආණ්ඩුව අවුලෙන්




සංශෝධිත වැට් බද්ද කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ව්‍යාකූලත්වයකට මුහුණ දී සිටිනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දා පනවන ලද අතුරු තහනම් නියෝගය ඊට හේතු වී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ.

සංශෝධිත වැට් බද්ද සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී නොමැති බැවින් එය තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයේ දැක්වුණා. කෙසේවෙතත් ආණ්ඩුව කියා සිටියේ මෙම වැට් බදු සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවෙන් අනුමත කරගන්නා බවයි. ඒ අනුව මැයි මස 2 වෙනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි වැට් බද්ද අයකරගන්නා බවද ප‍්‍රකාශ කෙරුණා.

එසේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය පනවන ලද දිනයේ සිට අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් අනුමත කෙරෙන දිනය දක්වා ව්‍යාපාරිකයින් කි‍්‍රයාකළ යුත්තේ කෙසේදැයි බොහෝ දෙනාට පවතින්නේ ප‍්‍රශ්නයක්. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊට පිළිතුරු ලබාදුන්නේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවැත් වූ මාධ්‍ය හමුවේදීයි.

එහිදී හෙතෙම පැවසුවේ මෙම ව්‍යාකූලතාවය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට නඩු තීන්දුව ඇතුළත් වාර්තාව ලැබීමෙන් පසු සාකච්ඡා කෙරෙන බවයි.

ආහාර ද්‍රව්‍ය 15 කට උපරිම මිලක් නියම කරන බවට ඊයේ (12) කෙරුණු නිවේදනය පිළිබඳව ද මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා. ඊට අදාළ ගැසට් නිවේදනය තවමත් නිකුත් කර නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එහිදී කියා සිටියේ.

බොහෝ විට හෙට (14) දිනය තුළ එම ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු ඇතැයි ද එතැන් සිට උපරිම මිල බලාත්මක වන බවද ඔහු පැවසුවා.

මෙවැනි උපරිම මිලක් නියම කිරීමත් සමග වෙළෙඳපොළේ ද්‍රව්‍ය හිඟයක් ද ඇති විය හැකි බවයි ඇතැම් අය පෙන්වා දෙන්නේ. ඊට මුහුණදීම සඳහා ගනු ලබන කි‍්‍රයාමාර්ග ද රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද පැහැදිළි කළා.

එහිදී හෙතෙම සඳහන් කළේ දැනට සුපිරි වෙළඳසැල් සහ ලක් සතොස වැනි ආයතන හරහා මෙම මිල ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවයි. එවිට හිඟයක් ඇති නොවී තරඟකාරීත්වයක් ඇතිවෙන බවත් පැවසුවා. මිල පාලනය නොසලකා වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා වැටලීම් සිදුකරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.