Tuesday, April 16, 2024

General line - 0115112241

හම්බන්තොට ප‍්‍රහාරයෙන් යහපාලනයේ නිරුවත හෙළිවුණා (VIDEO)




හම්බන්තොට ප‍්‍රහාරය මගින් ආණ්ඩුවේ යහපාලන නිරුවත පෙන්වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිම්න්තු මන්ත‍්‍රී විජිත හේරත් අද (08) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කියා සිටියා.

පසුගිය රාජපක්ෂ පාලන සමය්දී ද හම්බන්තොට ජනතාවගේ ඉඩම් අක්කර එකොළොස් දහසක් බලහත්කාරයෙන් පවරා ගත් බව එහිදී ප‍්‍රකාශ කෙරුණා.

එවැනි පාර්ශව හම්බන්තොට ජනතාවගේ සැබෑ සටන දියාරු කිරීමට උත්සාහ දරන බවද විජිත හේරත් මහන්ත‍්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළා.

පාර්ලිම්න්තු මන්ත‍්‍රී විජිත හේරත් දැක්වූ අදහස් පහතින් දැක්වේ

“අද ජනවාරි 08වැනිදා. මේ ආණ්ඩුව වසර දෙකක් සම්පූර්ණ වෙනවා. 2015 ජන. 08වැනිදා මේ ආණ්ඩුව පිහිටුවන කොට රටේ ආර්ථිකය, දේශපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් ජනතාවට විශාල පොරොන්දු දුන්නා. නමුත් වසර දෙකක් ගතවනවිට ජනතාව යහපාලනය වෙනුවෙන් තැබූ සියලු බලාපොරොත්තු සුන් වෙලා. රට ආර්ථික වශයෙන් අගාධයකට වැටිලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට ආණ්ඩුවේ මැරකම්, චණ්ඩිකම්, ජනතා මර්දනය දියත් කරලා. රටේ සම්පත් කුණුකොල්ලයට විකුණනවා. මහජනතාවට බදු පිට බදු බර පටවන පනත් සංශෝධනය කරගෙන තිබෙනවා. වසර දෙකක් ඇතුළත ජනතාවගේ බලාපොරොත්තු බොඳවෙලා ගිහින්. ජනතාවගේ බලාපොරොත්තු කිසිවක් ඉටුකරන්න මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ. ජනතාවගේ අතමිට සරු කරනවා කිව්වට එම ප‍්‍රකාශ පුස්සක් වෙලා. රටේ සම්පත් ටික කුණු කොල්ලයට විදෙස් සමාගම්වලට දෙනවා. ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පවරගන්නවා. මෛතී‍්‍ර-රනිල් පාලනය ජනතාවගේ අනාගතය සංවර්ධනය කරන්න මැදිහත් වෙලා නැහැ. ඔවුන්ට ඒ වෙනුවෙන් වුවමනාවක් නැහැ. කැපවීමක් නැහැ.

ජනතාවගේ බලාපොරොත්තු කඩවුණු නිසා තමයි අද ජනතාව පාරට බැහැලා තිබෙන්නේ. පීඩාකාරී ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ගවලට එරෙහිව ශිෂ්‍යයින් පාරට බැස්සා. ගොවිජනතාව පාරට බැස්සා. රටේ ජනතාව පීඩාවට එරෙහිව වීදි බැස්සා. ආණ්ඩුව ඒ අරගල හමුදාව, පොලීසිය යොදවලා කඳුළු ගෑස් ගහලා වෙඩි ප‍්‍රහාර එල්ල කරලා මර්දනය කළා. ඊයේ හම්බන්තොට ජනතාවගේ උද්ඝෝෂණයටත් ආණ්ඩුවේ ප‍්‍රතිචාරය වුණේ ඒ මර්දනයයි. හම්බන්තොට ජනතාව තමන්ගේ පාරම්පරික ඉඩම් රැකගැනීම වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ කැපවීමක් කළා. එදා රාජපක්‍ෂ පාලනය තුළ හම්බන්තොට ජනතාවගේ ඉඩම් අක්කර 11,000ක් බලහත්කාරයෙන් පවරාගත්තා. ඉරිදා සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් නාමල් රාජපක්‍ෂ ඒ බව කියනවා. මිරිජ්ජවිල කර්මාන්ත ව්‍යාපෘතියට, මත්තල ගුවන්තොටුපොළට, හම්න්තොට වරායට ඒ විදිහට ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගත්තා. එදා රාජපක්‍ෂලා කරපු දේ අද රනිල්-මෛතී‍්‍ර හවුල් ආණ්ඩුව කරනවා. ඒ නිසා තමන්ගේ ඉඩම් හම්බන්තොට වරායත් කුණු කොල්ලයට විකුණා දැමීමෙන් ආරක්‍ෂා කර ගැනීමට හම්බන්තොට ජනතාවට වගකීමක් තිබෙනවා.

ඊයේ හම්බන්තොට ජනතාව පක්‍ෂ භේදයෙන් තොරව ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක් දියත් කළා. ගමෙන් ගමට නිවසෙන් නිවසට ජනතාව මෙම උද්ඝෝෂණයට එකතු වුණා. ආණ්ඩුව හම්බන්තොට ප‍්‍රදේශයේ මහා භීෂණයක් ඇති කළා. හමුදාව පොලීසිය කැඳෙව්වා. මට්ටක්කුලි කුරුණෑගල ගාල්ල මාතර මැරයෝ, ඇමතිලාගේ ගෝලයෝ 06වැනිදා රාති‍්‍රයේ සිටම ප‍්‍රදේශවාසීන් බියවැද්දීම් කළා. පොලීසිය පාරවල් වහලා බැරියර් දැම්මා. මේ නිසා ජනතාව කෝපයට පත්වුණා. ජනතාව ප‍්‍රතිිචාර දැක්වුවා. ආණ්ඩුවේ නිල නොවන මැරයො නිල පොලීසිය හමුදාව එක්වී හම්බන්තොට ජනතාවට දියත් කළ මැර ප‍්‍රහාරය ඉතාම අමානුෂික ම්ලේච්ඡ ප‍්‍රහාරයක්. තමන්ට අයිති ඉඩම රැකගන්න උද්ඝෝෂණය කළ හම්බන්තොට ප‍්‍රදේශයේ පාරම්පරික ඉඩම් හිමි අම්මලාට තාත්තලාට තමයි ආණ්ඩුව මේ විදිහට පහර දුන්නේ. ආණ්ඩුවේ මර්දනය දැඩි පිළිකුළෙන් යුතුව හෙළාදකිනවා. ජනතාවට පහර දීලා, තර්ජනය කරලා මේ සටන යටපත් කරන්න බැහැ. සිය දහස් ගණනක් ජනතාව සමඟ මේ ආණ්ඩුවට එරෙහිව ජනතාව නැගිටිනවා. පෙළ ගැහෙනවා.

දේශපාලන වශයෙන් බංකොළොත් වෙලා ඉන්න පිරිසක් මේ සටන පාවා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. තමන්ගේ ඇත්ත ප‍්‍රශ්නය වෙනුවෙන් සටන් කරන ජනතාව තමන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යොදා ගන්න එම කණ්ඩායම කටයුතු කරනවා. එදා හම්බන්තොට ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගත්තු ඔවුන් ඒවා නැහැ කියන්න උත්සාහ කරමින් ඉන්නවා. ඔවුන් මැදිහත් වෙලා ජනතාවගේ සටන දියාරු කරන්න හදනවා. සැබෑ අරගලය යටපත් කරනවා. ආණ්ඩුව ඔවුන්ගේ කි‍්‍රයාමාර්ගත් මේ සටන මර්දනය කරන්න යොදා ගන්නවා. එම නිසා බංකොළොත් කණ්ඩායම්වලට මේ සටන දියාරු කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ආණඩුව වසර දෙකක් ගෙවෙන මේ මොහොතේ ජනතාවට පෙන්නුවේ යහපාලනය නෙවෙයි. ආණ්ඩුව ප‍්‍රායෝගිකව පෙන්නලා තිබෙනවා යහපාලනය බොරුවක් කියලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට ජනතාවට පහර දීලා මර්දනය කරලා යහපාලනයේ ඇත්ත නිරුවත පෙන්නුවා”.